ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක වන ‘මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ’ පළමු අදියර තුළ සිදුව ඇතැයි කියන මහා පරිමාණ මූල්‍ය අවභාවිතාවන්, වංචා සහ දූෂණ සම්බන්ධයෙන් වහාම සම්පූර්ණ ස්වාධීන හා වෝහාරික විමර්ශනයක් ආරම්භ කරන ලෙසත්, එතෙක් එහි දෙවන අදියරේ මූල්‍ය ප්‍රතිපාදන වහාම අත්හිටුවන ලෙසත් ඉල්ලමින් ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසතෝ කන්ඩා මහතා වෙත අතිශය බරපතල ලිපියක් යොමු කර තිබේ.
‘අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානය විසින් යොමු කර ඇති මෙම ලිපිය මඟින්, ව්‍යාපෘතියේ සිදුව ඇතැයි කියන පද්ධතිමය දුර්වලතා සහ අක්‍රමිකතා 15ක් පිළිබඳව කරුණු සහිතව හෙළිදරව් කර ඇත.
මෙම ලිපියේ පිටපත් ජනාධිපතිවරයා, විගණකාධිපතිවරයා සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇතුළු මෙරට ඉහළම රාජ්‍ය ආයතන 10ක් වෙතද හදිසි පියවර ගැනීම සඳහා යොමු කර තිබේ.
ඩොලර් මිලියන 511ක මහා වියදම සහ අතුරුදන් වූ ප්රගතියලැබී ඇති නිල තොරතුරුවලට අනුව, මෙම ව්‍යාපෘතිය 2015 වසරේදී මුලින්ම අනුමත කරන විට ඇස්තමේන්තුගත මුළු පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 675 කි. ඉන් ඩොලර් මිලියන 453 ක්ම ADB ආයතනය විසින් සපයන ලද ණය මුදල් වේ.
2025 වසර වන විට මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 511 ක අතිදැවැන්ත මුදලක් වැය කර අවසන්ය. නමුත්, මෙලෙස ව්‍යාපෘති අරමුදල්වලින් අතිමහත් බහුතරයක් වැය කර තිබියදීත්, මුලින් සැලසුම් කළ වැඩකොටස්වලින් නිම කර ඇත්තේ ඉතාම සීමිත ප්‍රමාණයක් බව අදාළ ලිපියෙන් පෙන්වා දෙයි.
සිදුකර ඇති මූල්‍ය වියදම් සහ භූමියේ පවතින සැබෑ භෞතික ප්‍රගතිය අතර කිසිදු ගැළපීමක් නැති බවත්, මේ නිසාම මුලින් සැලසුම් කළ වැඩ නිම කිරීමට නොහැකිව දැන් ‘දෙවන අදියර’ නමින් තවත් නව ණයක් ලබා ගැනීමට සිදු වී ඇති බවත් එහි දැක්වේ.
මෙම ලිපිය මඟින් රටම කම්පා කරවන තවත් කරුණු රැසක් අනාවරණය කර ඇති බව දැකිය හැකිය.
මේ අනුව ව්‍යාපෘති අරමුදල් විශාල වශයෙන් භාවිත කර තිබියදීත්, මුලින් අනුමත කරන ලද ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් පැකේජ සංඛ්‍යාව 21 සිට 8 දක්වා (විශාල ලෙස) අඩු කර තිබේ. ටනල් මැෂින් ජාවාරමක් සම්බන්ධයෙන් ද කරුණු තහවුරු කර තිබේ. විකල්ප ක්‍රමවේද හෝ පිරිවැය බලපෑම් නිසි ලෙස තක්සේරු නොකර, විශාල අතිරේක පිරිවැයක් යටතේ දෙවන උමං කැණීම් යන්ත්‍රයක් ව්‍යාපෘතියට හඳුන්වා දීමට අනුමැතිය දී ඇත.
2021 වසරේ සිට මේ දක්වා වසර කිහිපයක් තිස්සේ ව්‍යාපෘතිය සඳහා නිසි සුදුසුකම් ලත් කණ්ඩායම් නායකයෙකු පත් කර නැත. ඒ වෙනුවට වැඩබලන නිලධාරියෙකු ලවා ඉංජිනේරු බලතල ක්‍රියාත්මක කර තිබේ. දේශීය ලංසුකරුවන් කොන් කිරීම, 2021 වසරේ ලංසු තැබීම්වලදී සියලු සුදුසුකම් සපුරා තිබූ දේශීය ව්‍යාපාරිකයින්ට 2 වන අදියරේ ක්‍රියාත්මක කිරීම්වලට සහභාගී වීමට නොහැකි වන සේ වෙනස්කම් සිදුකර ඇතැයි ද චෝදනා එල්ල වේ.
ණය බර ජනතාව පිටමෙම ආයෝජන සියල්ල සිදු කරන්නේ ශ්‍රී ලංකා රජය විසින් ලබා ගන්නා ස්වෛරී ණය මඟිනි. ව්‍යාපෘතිය සාර්ථක වුවත් නැතත්, මෙහි ණය සහ පොලී වාරික ගෙවීමට සිදුවන්නේ වර්තමාන සහ අනාගත ශ්‍රී ලාංකීය පුරවැසියන්ට බව ලිපිය අවධාරණය කරයි.
පළමු අදියරේ මූල්‍ය ප්‍රතිඵල සහ වගවීම් පිළිබඳ බරපතල නොවිසඳුණු ප්‍රශ්න පවතිද්දී, ඉන් උගත් පාඩම් ගැන ස්වාධීන සමාලෝචනයක් නොකර දෙවන අදියර සඳහා අනුමැතිය දීම මඟින් ලංකාව මෙන්ම ADB බැංකුවද දැඩි මූල්‍ය අවදානමක හෙළා ඇති බව එම සංවිධානය පවසයි.
අධිකරණයට යන බවට අනතුරු ඇඟවීමක් ආසියානු සංවර්ධන බැංකුව විසින් මේ පිළිබඳව වහාම පියවරක් ගෙන ස්වාධීන වෝහාරික විගණනයක් සිදු නොකරන්නේ නම්, පොදු දේපළ ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද පවතින නීතිමය ප්‍රතිපාදන උපයෝගී කරගනිමින්, මෙරට මෙන්ම විදේශීය අධිකරණ සහ අධීක්ෂණ ආයතන ඉදිරියට යාමට තමන් පසුබට නොවන බව ‘අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානය සිය ලිපිය මඟින් දැඩිව අවධාරණය කර සිටී.

