වියට්නාමයෙන් ලංකාවට ‘ලුණු රහට’ ඔරොත්තු දෙන සුපිරි වී ප්‍රභේදයක්!
යුරෝපයට එළවළු-පළතුරු යැවීමේදී රතු එළියක්!
සීනි ගෙන්වන්න යන බිලියන ගණනක විදේශ විනිමය ඉතිරි කරන්න බ්‍රසීලය ලංකාවට එයි!
රාජ්‍ය අංශයේ ‘මෑන් පවර්’ සූරාකෑමට තිත!
පාරිභෝගිකයින්ගේ විදුලි භාවිත රටාව වෙනස් කරන්න ‘සුරකිමු ලංකා’ ජාතික මෙහෙයුම ඇරඹේ!
ලොකු කන්නයට ඉඩ හදන්න වී අලෙවි මණ්ඩලයේ වී තොග ටෙන්ඩර් දමා විකුණයි!
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට විදේශීය මුදල් පවරන්නන්ටත් ලංකාවේ ලියාපදිංචිය අනිවාර්ය කෙරේ!
වසර 30කට පසු අපනයන කෘෂිකර්ම පනත යාවත්කාලීන වෙයි:
කැබිනට් අනුමැතිය ලද නව පත්වීම් මෙසේ ය.
@@@වියට්නාමයෙන් ලංකාවට ‘ලුණු රහට’ ඔරොත්තු දෙන සුපිරි වී ප්‍රභේදයක්!
දේශීය කෘෂිකර්මාන්තයේ දැවැන්ත පෙරළියක් සිදු කරමින්, ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඒකාබද්ධ වී වගා පර්යේෂණ ව්‍යාපෘතියක් ඇරඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2025 වසරේ එළඹි අවබෝධතා ගිවිසුමකට අනුව ක්‍රියාත්මක වන මෙමඟින්, ලවණතාවට ඔරොත්තු දෙන සහ ඉහළ අස්වැන්නක් ලබාදෙන සුවිශේෂී දෙමුහුන් වී ප්‍රභේද නිපදවීම, ජාන සම්පත් හුවමාරුව සහ පර්යේෂණ නිලධාරීන් පුහුණු කිරීම සිදු කෙරේ.
@@@යුරෝපයට එළවළු-පළතුරු යැවීමේදී රතු එළියක්: ‘SLGAP’ සහතිකය නැත්නම් අපනයන තහනම්!
ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමයේ රටවලට අපනයනය කරන ඇතැම් නැවුම් එළවළු සහ පළතුරුවල කෘෂි රසායන අවශේෂ (Maximum Residue Levels) අවදානම් සහගත ලෙස ඉහළ ගොස් ඇති බව යුරෝපා කොමිසම අනතුරු අඟවා ඇත.
මේ හේතුවෙන් කෘෂි අපනයන කඩා වැටීම වැළැක්වීම සඳහා මින්පසු සියලුම නැවුම් එළවළු සහ පළතුරු අපනයනය කළ හැක්කේ SLGAP (ශ්‍රී ලාංකීය යහපත් කෘෂිකාර්මික පිළිවෙත්) සහතිකය ලත් ගොවිපොළ සහ ලියාපදිංචි ඇසුරුම්හල් හරහා පමණක් බවට රජය තීරණය කර තිබේ.
@@@ සීනි ගෙන්වන්න යන බිලියන ගණනක විදේශ විනිමය ඉතිරි කරන්න බ්‍රසීලය ලංකාවට එයි!
ලංකාවේ වාර්ෂික සීනි අවශ්‍යතාවයෙන් 90%ක්ම ආනයනය කිරීම නිසා වැයවන අතිවිශාල විදේශ විනිමය රට තුළ ඉතිරි කර ගැනීම සඳහා බ්‍රසීලයේ තාක්ෂණික දායකත්වයෙන් ‘ශ්‍රී ලංකාවේ උක් ව්‍යාපෘතිය’ දියත් කෙරේ. උක් නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයෙකු වන බ්‍රසීලයේ විශේෂඥ දැනුම උපයෝගී කරගනිමින්, දේශීය උක් අස්වැන්න සහ සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමේ මෙම ව්‍යාපෘතිය මාස 36ක් පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
@@@රාජ්‍ය අංශයේ ‘මෑන් පවර්’ සූරාකෑමට තිත: ‘සමාන වැටුප් – රැකියා සුරක්ෂිතතාව’ වෙනුවෙන් නව කමිටුවක්!
රාජ්‍ය ව්‍යවසායයන්හි ස්ථිර සේවකයින් හා සමානව දීර්ඝ කාලයක් සේවය කළද, රැකියා සුරක්ෂිතතාව හෝ ව්‍යවස්ථාපිත ප්‍රතිලාභ නොලැබූ ‘මෑන් පවර්’ (බාහිර පාර්ශ්වීය) සේවකයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට රජය සැරසෙයි. “සමාන කාර්යයට සමාන වැටුප්” (Equal Pay For Equal Work) යන ජාත්‍යන්තර කම්කරු සංකල්පය තහවුරු කරමින්, පවතින නීතිරීති සංශෝධනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ නිලධාරි කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.
@@@ පාරිභෝගිකයින්ගේ විදුලි භාවිත රටාව වෙනස් කරන්න ‘සුරකිමු ලංකා’ ජාතික මෙහෙයුම ඇරඹේ!
පොසිල ඉන්ධන මිල උච්චාවචනය සහ වියළි කාලගුණය හේතුවෙන් මෙරට බලශක්ති ක්ෂේත්‍රය මුහුණ දී ඇති අභියෝග ජය ගැනීමට ‘සුරකිමු ලංකා’ බලශක්ති සුරක්ෂිතතා ජාතික මෙහෙයුම ප්‍රකාශයට පත් කර තිබේ.
ජනාධිපති කාර්යාලය සහ බලශක්ති අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය-පෞද්ගලික අංශ ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය හරහා, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ඉහළ මට්ටමක පවතින කාල පරාසයන් වෙත මහජන විදුලි පරිභෝජනය යොමු කිරීමේ චර්යාත්මක වෙනසක් ඇති කිරීමට අපේක්ෂිතය.
@@@@ලොකු කන්නයට ඉඩ හදන්න වී අලෙවි මණ්ඩලයේ වී තොග ටෙන්ඩර් දමා විකුණයි!
වී අලෙවි මණ්ඩලය සතු ගබඩාවල දැනට පවතින මෙට්‍රික්ටොන් 115,000කට ආසන්න වී තොගයෙන්, ආරක්ෂිත තොගයක් පමණක් රඳවාගෙන ඉතිරිය විධිමත් ටෙන්ඩර් ක්‍රමවේදයකට අනුව වහාම අලෙවි කිරීමට තීරණය කර ඇත.
මෙමඟින් ඉදිරි යල කන්නයේදී ගොවීන්ගෙන් නව වී මිල දී ගැනීමට අවශ්‍ය ගබඩා ඉඩකඩ සහ ප්‍රතිපාදන සලසා ගැනීමට අපේක්ෂා කෙරේ.
@@@ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට විදේශීය මුදල් පවරන්නන්ටත් ලංකාවේ ලියාපදිංචිය අනිවාර්ය කෙරේ!
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අරමුණින්, විදේශීය මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන් සඳහා ද ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය කරමින් නිකුත් කළ 2025 අංක 1 දරන නියෝග අඩංගු අති විශේෂ ගැසට් නිවේදනය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි විය.
@@@වසර 30කට පසු අපනයන කෘෂිකර්ම පනත යාවත්කාලීන වෙයි: කෙටුම්පත ගැසට් පත්‍රයට!
1992 වසරෙන් පසු කිසිදු වෙනසකට බඳුන් නොවූ ‘අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන පනත’ කාලීන අවශ්‍යතාවලට ගැළපෙන සේ සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තනතුරු නාම වෙනස් කිරීම සහ ‘අපනයන කෘෂිකර්ම බෝගය’ යන්නට වඩාත් පැහැදිලි නීතිමය අර්ථ නිරූපණයක් ලබාදෙමින් සකස් කළ නව සංශෝධිත පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට අනුමැතිය ලැබී තිබේ.
@@@කැබිනට් අනුමැතිය ලද නව පත්වීම් මෙසේ ය.
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස එම්.කේ.ඩී.එන්. මාදම්පේ පත් කෙරේ!
හිටපු අධ්‍යක්ෂ ජනරාල් විමල් එස්.කේ. ලියනගම මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්වීමෙන් පසු පුරප්පාඩු වූ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන එම්. කේ. ඩී. එන්. මාදම්පේ මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

