“විපක්ෂයේ ඉද්දි අම්මුඩ ගහපු නාමල් කරුණාරත්නලා අද ඇමති මණ්ඩලයේ සැප විඳිමින් ගොවියා පාවා දෙනවා. පොහොර නැහැ, මිලක් නැහැ, විසඳුමකුත් නැහැ! ගොවියාට සාධාරණය ඉටු නොකළොත් දරුණු විපාක විඳින්න වෙයි!” – ගොවිජන පවුර සංවිධානයේ නලින්ද සෙනාරත්න මහතා කීය.
බලය ලබා ගැනීමට පෙර ගොවියාගේ සටන පාවා දී, අද වන විට ගොවි ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත් කර ඇති ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කරමින් “ගොවිජන පවුර” සංවිධානයේ නලින්ද සෙනාරත්න මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ සෙනාරත්න මහතා කියා සිටියේ, විපක්ෂයේ සිටියදී අම්මුඩ ගසාගෙන ගොවියා පාරට බැස්සවූ නාමල් කරුණාරත්න වැනි දේශපාලනඥයන් අද ඇමති මණ්ඩලයේ සිටිමින් ගොවියාට පිටුපා ඇති බවයි.
“වසර එකහමාරක් තිස්සේ නිසි වේලාවට පොහොර ටික දෙන්න මේ ආණ්ඩුවට බැරි වුණා. වී අස්වැන්නට සාධාරණ මිලක් හෝ තෙත වී මිලදී ගැනීමේ ක්‍රමවේදයක් අදටත් නැහැ. එදා පොහොර ගැටලුව එනවා කියද්දී ‘කොරහේ කිඹුල්ලු දකින්න එපා‘ කියපු අයම අද කියනවා ඉල්ලන තරම් පොහොර දෙන්න බැහැ කියලා. ගොවි සංවිධාන මුදල් බැඳලත් පොහොර ටික ලැබෙන්නේ නැහැ. නාමල් කරුණාරත්නලා අද අම්මුඩය ගලවලා දාලා රජයේ පොහොර සමාගම් ඇතුළට වෙලා මාධ්‍යට විතරක් කතා කරනවා. පුළුවන් නම් ගොවිබිමට බැහැලා බලන්න ගොවියා ඉන්න තත්ත්වය,” යැයි ඔහු අභියෝග කළේය.
නුගලවෙල සහ නුවරඑළිය අල ගොවියා මුහුණ දෙන අර්බුදය ගැන කරුණු දැක්වූ ඔහු, අල කිලෝවක නිෂ්පාදන පිරිවැය රු. 250ක් ඉක්මවා යද්දී ගොවියාට එය රු. 180-200ටවත් විකුණාගත නොහැකි වී ඇති බව පෙන්වා දුන්නේය. “ඇමති ලාල් කාන්ත විසඳුම් දුන්නේ අල ගොවියාට නෙවෙයි බතල ගොවියාට. සුපිරි වෙළඳසැල් හරහා අල විකුණනවා කිව්වට, කළේ පකිස්ථානයෙන් විෂ රසායනික සහිත අල ගෙන්වන ආනයනකරුවන්ට බදු සහන දීමයි. ඒ සහනය පාරිභෝගිකයාට ලැබෙන්නෙත් නැහැ.”
තේ කර්මාන්තය සම්බන්ධයෙන් අමාත්‍ය සමන්ත මහතාගේ ප්‍රකාශ හුදෙක් ප්‍රෝඩාවක් බවත්, රු. 9500ට තිබූ පොහොර රු. 15000 ඉක්මවා ගොස් ඇති පසුබිමක කුඩා තේ වතු හිමියන් අන්ත අසරණ වී ඇති බවත් සෙනාරත්න මහතා පැවසීය. වතු සමාගම්වල වුවමනාවට අමාත්‍යාංශ පාලනය වන බවට සැකයක් පවතින බවද ඔහු සඳහන් කළේය.
ගොවියා රජ කරවන්න ආ අය ගොවියාව හිඟා කන තත්ත්වයට පත් කරලා! – නලින්ද සෙනාරත්න මහතා කීය.
නිෂ්පාදන පිරිවැය 250යි, විකුණුම් මිල 180යි! අල ගොවියා මරා ආනයනකරුවන්ට බදු සහන දෙන ‘ලාල්-සමන්ත‘ සුසංයෝගය සම්බන්ධයෙන් ඔහු කරුණු කීය.
නාමල් කරුණාරත්නට අභියෝගයක්! අම්මුඩය ගලවා කාර්යාලවල හැංගෙන්නේ නැතුව ගොවිබිමට එන්න යැයි ඔහු කීය.
නලින්ද සෙනාරත්න මහතා අවධාරණය කළේ, වී, එළවළු සහ තේ ගොවියාට වහාම සාධාරණය ඉටු නොකරන්නේ නම්, සමස්ත ගොවි ජනතාව පෙළගස්වමින් දැවැන්ත ජනතා අරගලයක් සඳහා “ගොවිජන පවුර” සූදානම් බවයි.

