වෙහෙරගල වාන් දොරටුත් විවෘතයි – පහත්බිම් ජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්
කොළඹ – දිවයිනේ නිරිතදිග සහ දකුණු ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ කිරිඳි ඔය නිම්නය මේ වන විට “මහා ගංවතුර” අවදානම් මට්ටමට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හදිසි නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
තණමල්විල ප්‍රදේශයෙන් ගලා යන කිරිඳි ඔයේ ජල මට්ටම මීටර් 5.80 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය මහා ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇති තත්ත්වයක් ලෙස වාර්තා වේ.
පවතින තද වර්ෂාව හේතුවෙන් වෙහෙරගල ජලාශයේ වාන් දොරටු ද විවෘත කර ඇති අතර, කිරිඳි ඔය සහ මැණික් ගඟ දෙපස පහත්බිම් ප්‍රදේශ ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් මතුව ඇති බව බලධාරීහු අනතුරු අඟවති.
පසුගිය පැය 18 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට දැඩි වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.
ඉන් වැඩිම වර්ෂාපතනය ගල්ගමුව ප්‍රදේශයෙන් මිලිමීටර් 70.9ක් ලෙස වාර්තා වන අතර, මොරගස්වැවට මිලිමීටර් 56.8ක් සහ පේරාදෙණියට මිලිමීටර් 43.8ක් ලැබී ඇත.
මේ අතර කැළණි, කළු, ගිං සහ නිල්වලා ගංගාවල ජල මට්ටම් මේ වන විට සාමාන්‍ය තත්ත්වයේ පැවතියද, ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇදහැලීම හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ තත්ත්වය තවත් බරපතළ විය හැකි බවද සඳහන් වේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගංගා ආශ්‍රිත පහත්බිම්වලින් ඉවත් වීමට සූදානම් වන ලෙසත්, ජලයෙන් යටවන මාර්ග භාවිතයෙන් වළකින ලෙසත්ය.
හදිසි අවස්ථාවකදී 117 හදිසි ඇමතුම් අංකය හෝ 011 2136136 / 011 2136222 යන අංක අමතා සහාය ලබාගත හැකි බවද දැනුම් දී ඇත.

