1958 ට පෙර මෙරට බස් ප්‍රවාහනය පෞද්ගලික කොම්පැනි සතු වූ අතර, මගීන් සහ සේවකයන් දැඩි පීඩනයකට ලක්ව සිටියහ. රත්නම්, සන්සෝනි සහ ජයරත්න පෙරේරා යන කොමිෂන් සභා නිර්දේශ මත 1958 ජනවාරි 01 දින ලංගමය ස්ථාපිත කෙරුණේ මෛත්‍රීපාල සේනානායක මහතාගේ මූලිකත්වයෙනි. එතැන් පටන් “බස් එක” යනු පොදු ජනතාවගේ අයිතියක් බවට පත් විය.

1972-1977 කාලසීමාව ලංගමයේ ස්වර්ණමය යුගය ලෙස සැලකේ. අනිල් මුණසිංහ සහ ලෙස්ලි ගුණවර්ධන වැනි යුග පුරුෂයන්ගේ පාලනය යටතේ රථ ඇණිය 7,000 දක්වා ඉහළ ගිය අතර, සේවක මණ්ඩලය 55,000 ක් විය. එදා ලංගම සේවකයා යනු මෙරට ඉහළම වැටුප් හා වරප්‍රසාද භුක්ති විඳි අභිමානවත් වෘත්තිකයෙකි.

1977 න් පසු හඳුන්වා දුන් විවෘත ආර්ථිකයත් සමඟ බටහිර දේශපාලන ආකෘතීන්ට අනුගත වීම ලංගමයේ පසුබෑමට මූලික වූ බව වෘත්තීය සමිති පෙන්වා දෙයි.

කිසිදු පදනමකින් තොරව සේවකයන් බඳවා ගැනීම, දේශපාලන මැදිහත්වීම් මත ඩිපෝ පාලනය කිරීම සහ 13 වන ව්‍යවස්ථාව හරහා බස් නැවතුම්වල පාලනය ගිලිහී යාම නිසා ලංගමයේ ආදායම් මාර්ග අවහිර විය.

2005 වසරේදී ශාන්ත ජයරත්න වැනි සභාපතිවරුන් යටතේ යම් ස්ථාවරත්වයක් ඇති කිරීමට උත්සාහ කළද, අභ්‍යන්තර දේශපාලන බල අරගල හමුවේ එම උත්සාහයන් ව්‍යර්ථ විය.

වංචා, දූෂණ සහ වැරදි පාලන තීරණ හේතුවෙන් අද වන විට සේවක අයිතිවාසිකම් පවා අවදානමකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා නිදහස් පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සාගර ධනංජය කැටීපේ ආරච්චි මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ලංගමය යළි ගොඩනැඟිය හැක්කේ දේශපාලන වහල්භාවයෙන් මිදී, හේතු-ඵල වාදයට අනුව වෘත්තීය ගරුත්වය ආරක්ෂා කර ගන්නා සංවිධානාත්මක ශක්තියකින් පමණක් බවයි.

Share.
Leave A Reply