ශරීර සෞඛ්‍යය ගැන දැඩි අවධානයෙන් පසුවන්නැයි දැනුම් දෙයි

දිවයිනේ පළාත් හතක සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල හෙට (12) දිනයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ ය.

අද (11) පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදනයට අනුව උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, දකුණු, සහ නැගෙනහිර යන පළාත්වල ජනතාව මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුය. විශේෂයෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට ද මෙම බලපෑම එල්ල විය හැකි බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

උණුසුම් කාලගුණයත් සමඟ ඇති විය හැකි විජලනය සහ ශරීරයේ අධික මහන්සිය වැනි සෞඛ්‍ය ගැටලු මඟහරවා ගැනීම සඳහා ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත්, එළිමහන් සේවා මුරයන්හි නිරත වන්නන් සෙවණ ඇති ස්ථානවල රැඳෙමින් විවේක ගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ ය.

කුඩා දරුවන් සහ වැඩිහිටියන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමත්, ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතයත් මෙම තත්ත්වයෙන් ආරක්ෂා වීමට වැදගත් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ය.

Share.
Leave A Reply