ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ ප්‍රමිතිය ඉහළ නැංවීම සහ රෝගී ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගත් සුවිශේෂී ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරී සැලසුම් ත්‍රිත්වයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැති විශේෂ උත්සවයකදී මෙම සැලසුම් එළිදැක්වුණු අතර, එය මෙරට සෞඛ්‍ය ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආසාදන වැළැක්වීම සහ පාලනය සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය (IPC).

උපායමාර්ගික සැලැස්ම (2026-2030): සෞඛ්‍ය සේවා ගුණාත්මකභාවය සහ රෝගී ආරක්ෂාව පිළිබඳ ඉදිරි පස් අවුරුදු ජාතික උපායමාර්ගික සැලැස්ම.

ඖෂධ ආරක්ෂාව (2026-2030): ඖෂධ භාවිතයේදී සිදුවන දෝෂ අවම කරමින් රෝගී ආරක්ෂාව වැඩිදියුණු කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම.

ශල්‍යකර්ම සිදුකිරීමේදී සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා වන ‘ශල්‍යකර්ම ආරක්ෂණ පිරික්සුම් ලැයිස්තුව’ (Surgical Safety Checklist) පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නියෝජිතයන්ගේ ද සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවයේදී අදහස් දැක්වූ ලේකම්වරයා අවධාරණය කළේ, රෝගී ආරක්ෂාව සහ ආසාදන පාලනය වැනි අංශ ශක්තිමත් කිරීම මගින් මෙරට සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව වඩාත් විශ්වාසනීය මට්ටමකට පත් කිරීමට මෙමගින් මග පෑදෙන බවයි.

Share.
Leave A Reply