2026 වසරේ සිංහල සහ දමිළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර සම්බන්ධයෙන් ජ්‍යෝතිර්වේදීන් අතර පැවති මතභේදකාරී තත්ත්වය අවසන් කරමින්, පොදු එකඟතාවයකට පැමිණි නිල නැකැත් සීට්ටුව මහනුවර මල්වතු මහා විහාරයේ දී මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වෙත නිල වශයෙන් පිළිගන්වනු ලැබීය.
විෂයභාර අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් මෙම නැකැත් සීට්ටුව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ සහ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමිපාණන් වහන්සේ වෙත පිළිගන්වන ලදී.
රජයේ මැදිහත්වීමෙන් ප්‍රවීණ ජ්‍යෝතිර්වේදීන්ගේ සහ විද්වතුන්ගේ සහභාගිත්වයෙන් මෙම පොදු එකඟතාවය ඇති කරගෙන තිබේ. ජනතාව අතර පැවති අවිනිශ්චිතතාවය දුරු කරමින් සියලු දෙනාටම එකම වේලාවක චාරිත්‍ර ඉටු කිරීමට මඟ පෙන්වීම සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් රජය වෙත ප්‍රශංසාව පිරිනැමූහ.

