රටේ පවතින දැවැන්ත බලශක්ති සහ ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීමට රජය වහාම ක්‍රියාමාර්ග නොගතහොත්, ගෝඨාභය රාජපක්ෂ මහතාට අත් වූ ඉරණම වත්මන් ජනාධිපතිවරයාට ද අත් විය හැකි බව ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ශාස්ත්‍රාචාර්ය රවීන්ද්‍ර ප්‍රදීප් කුලසේන මහතා අද (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.
මෙම අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ලංකා සම සමාජ පක්ෂය ඉදිරිපත් කරන ප්‍රධාන යෝජනා සහ විවේචන කිහිපයක් මතක් කරන බවද හෙතෙම කීය.
1970 දශකයේ ලෝක තෙල් අර්බුදය හමුවේ කඩා වැටුණු මෙරට ආර්ථිකය, වසර තුනක් වැනි කෙටි කාලයකින් ස්ථාවර කිරීමට එවකට මුදල් ඇමති ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා සමත් වූ බව කුලසේන මහතා සිහිපත් කළේය. එම ආර්ථික උපායමාර්ග සහ මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ විද්‍යා හා තාක්ෂණික දැනුම උපයෝගී කරගනිමින් රට යළි ගොඩනැංවීමට සම සමාජ පක්ෂය සූදානම් බව ඔහු පැවසීය.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ රාජ්‍ය සේවය අඩපණ නොවී පවත්වාගෙන යාමට වහාම පියවර ගත බවත්,රාජ්‍ය සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමේ (Work from Home) ක්‍රමය හඳුන්වා දිය කළ යුතු බවත් ,කාර්යාල වෙත කැඳවීම සතියකට සීමිත දින ගණනකට සීමා කළ යුතුයි.
නිලධාරීන් සඳහා විශේෂ පොදු ප්‍රවාහන සේවාවක් මගින් ඉන්ධන පරිභෝජනය අවම කළ යුතුය.
ලෝක බලශක්ති අර්බුදය හමුවේ දැවැන්ත ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බැවින්, දේශීයව නිපදවිය හැකි කිසිදු කෘෂි නිෂ්පාදනයක් ආනයනය නොකළ යුතු බවත්, අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පමණක් විදේශ විනිමය වැය කළ යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.
“ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා මැතිවරණ සමයේ ඩිජිටල් තාක්ෂණය ගැන දැවැන්ත කථිකාවක් කළා. දැන් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර අර්බුදය පාලනය කිරීමට කාලය එළඹ තිබෙනවා.”
“ගෝඨාභය පාලන සමයේ කොවිඩ් සහ පෝලිම් යුගයෙන් පසු ‘ගෝඨා ගෝ හෝම්’ ආවා වගේම, මේ අභියෝග ජය නොගතහොත් ‘අනුර ගෝ හෝම්’ යන තත්ත්වයට සමාජය පත්වීම වැළැක්වීමට කිසිවෙකුට නොහැකි වනු ඇත.”

