ශ්‍රී ලංකාවේ දැවැන්තම කාර්මික සහ වෙළඳ ප්‍රදර්ශනය වන “INCO 2026” දෙවන දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා රජයේ නව ආර්ථික උපායමාර්ගය පිළිබඳව වැදගත් අනාවරණයක් සිදු කළේය.
“ධනය කිහිප දෙනෙකු අතර නොව, ජනතාව අතරට”
අමාත්‍යවරයා අවධාරණය කළේ රජයේ මූලික ඉලක්කය වන්නේ හුදෙක් සංඛ්‍යාලේඛන මත පදනම් වූ සංවර්ධනයක් නොව, ජන සහභාගීත්ව සංවර්ධනය පදනම් කරගත් නිෂ්පාදනාර්ථකයක් ගොඩනැගීම බවයි.
“අපේ බලාපොරොත්තුව කිහිප දෙනෙක් අතේ මුදල් ගැවසෙන ආර්ථිකයක් නොව, ඉතාම පැහැදිලි ලෙස ජන සහභාගීත්ව සංවර්ධනය පදනම් කරගත් නිෂ්පාදනාර්ථකයක් ගොඩනැගීමයි,” යැයි එතුමා ප්‍රකාශ කළේය.
කර්මාන්ත සංවර්ධනය කොළඹින් පිටට!
පහුගිය කාලය පුරා කර්මාන්ත ක්ෂේත්රය බස්නාහිර පළාතට පමණක් සීමා වී තිබූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඉදිරියේදී රජය ක්‍රියාත්මක කරන නව සැලසුම් කිහිපයක් පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය:
අමුද්‍රව්‍ය බහුල උතුර, නැගෙනහිර සහ දකුණු පළාත් (විශේෂයෙන් හම්බන්තොට) කේන්ද්‍ර කරගත් නව ආර්ථික සැලසුම්.
අගය එකතු කිරීම (Value Addition): අමුද්‍රව්‍ය එලෙසම අපනයනය වෙනුවට, තාක්ෂණය යොදා ගනිමින් ඒවායේ වටිනාකම වැඩිකර අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම.
දේශීය නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට කාර්මික තාක්ෂණික නවෝත්පාදනවල ඇති වැදගත්කම.
ශ්‍රී ලංකා ඒකාබද්ධ ඉංජිනේරු ආයතනය (IIESL) විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය මාර්තු 13 වන දින ආරම්භ වූ අතර එය මාර්තු 15 වන දින දක්වා මහජනතාව සඳහා විවෘතව පවතී. මෙහිදී අමාත්‍යවරයා දේශීය හා විදේශීය තාක්ෂණික මෙවලම් සහ නිෂ්පාදන කුටි නිරීක්ෂණය කරමින් නව නිපැයුම්කරුවන් දිරිමත් කිරීමටද කටයුතු කළේය.
මෙම ප්‍රදර්ශනය හරහා මෙරට නිෂ්පාදන ක්ෂේත්රයේ නව පුනරුදයක් ඇති කිරීම රජයේ සහ සංවිධායක මණ්ඩලයේ අපේක්ෂාවයි.

