පළාත් සභා නැතිව ප්‍රජාතන්ත්‍රවාදය අසම්පූර්ණයි!” – මැතිවරණ කොමිසමට පිටු 53ක විශේෂ කෙටුම්පතක්.

දෙස් විදෙස් ලාංකිකයන්ට විකල්ප ඡන්ද ක්‍රමයක්?” – පැෆ්රල් සහ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයෙන් දැවැන්ත පියවරක්.

වසර නවයක ජනතා අයිතිය රජය උදුරාගෙන! – කරු ජයසූරියගෙන් සහ ජී.එල්. පීරිස්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතළ අර්බුදයකට ලක් කරමින්, වසර නවයක් තිස්සේ ජනතාවට අහිමි කර ඇති පළාත් සභා ඡන්ද අයිතිය වහාම ලබා දෙන ලෙස බල කරමින් මෙරට දේශපාලන හා සිවිල් සමාජ නායකත්වයේ ප්‍රබල හඬක්  (13 ) දින  කොළඹදී මතු විය.

නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා වන ජනතා ක්‍රියාකාරීත්වය (PAFFREL) සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය එක්ව සංවිධානය කළ විශේෂ වැඩසටහනකදී මෙම කරුණු අනාවරණය විය.

“ජාතික ජන බලවේගයත් පොරොන්දු කඩ කරනවා” – කරු ජයසූරිය

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කථානායක කරු ජයසූරිය මහතා මෙහිදී සෘජු චෝදනාවක් එල්ල කළේය. වත්මන් රජය බලයට පත්වීමට පෙර ලබා දුන් පොරොන්දු අමතක කරමින් පළාත් සභා මැතිවරණය මඟහරිමින් සිටින බව ඔහු අවධාරණය කළේය.

“වසර නවයක් තිස්සේ ජනතාවගේ අයිතියක් අහිමි කර තිබෙනවා. මහජන නියෝජිතයන් නැති පළාත් සභා නිසා රාජ්‍ය යාන්ත්‍රණය අඩපණ වෙලා. සංවර්ධනය මුළුමනින්ම බාධා වී තිබෙනවා. මේ අසාධාරණය වහාම නතර විය යුතුයි.” – කරු ජයසූරිය

මීට අමතරව, නව දේශපාලන සංස්කෘතියක් උදෙසා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන්නේ දැයි තමන් දැඩි අවධානයෙන් පසුවන බව ද හෙතෙම සඳහන් කළේය.

“පළාත් සභා කියන්නේ සිල්ලර දෙයක් නෙවෙයි” – ජී.එල්. පීරිස්

මෙහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේ පළාත් සභා නොපැවැත්වීම හරහා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අසම්පූර්ණ වී ඇති බවයි. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 09 වන උප ලේඛනය යටතේ ජනතාවගේ උපතේ සිට මරණය දක්වා වන සියලු අවශ්‍යතා ඉටු කිරීමේ වගකීම පළාත් සභාව සතු බව ඔහු පෙන්වා දුන්නේය.

කාන්තා නියෝජනයේ අර්බුදය – නිමල්කා ප්‍රනාන්දු

දේශපාලන ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනයේ පවතින බරපතළ හිඩැස පිළිබඳව ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය මෙහිදී කරුණු දැක්වූවාය. මෙරට ඡන්දදායකයින්ගෙන් 51%ක් කාන්තාවන් වුවද, දේශපාලන පක්ෂ මෙහෙයවීමේදී සහ තීන්දු ගැනීමේදී කාන්තාවන් නොසලකා හැරීම බරපතළ ගැටලුවක් බව ඇය අවධාරණය කළාය.

ඓතිහාසික පියවරක්: මැතිවරණ ප්‍රතිසංස්කරණ කෙටුම්පත භාර දෙයි

මැතිවරණ ක්ෂේත්‍රය නවීකරණය කිරීම වෙනුවෙන් සකස් කළ පිටු 53කින් යුත් විශේෂ කෙටුම්පතක් මෙහිදී මැතිවරණ කොමිෂන් සභාව වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

භාර දීම: කරු ජයසූරිය මහතා සහ පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින්.

භාර ගැනීම: මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එම්.එම්. ෆායිස් සහ අතිරේක මැතිවරණ කොමසාරිස් චින්තක කුලරත්න යන මහත්වරුන් විසින්.

විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය භාවිත කිරීම සඳහා වූ විකල්ප ඡන්ද ක්‍රම පිළිබඳ සම්පූර්ණ වාර්තාව ද මෙම මස අවසානයේදී ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍යවරුන් වන තිස්ස අත්තනායක, ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply