උතුරු මුහුදේ මත්ස්‍ය මංකොල්ලයට තිත: නාවික හමුදාව සහ ධීවරයෝ එක්ව දැවැන්ත මෙහෙයුමක් අරඹති!
උතුරු මුහුදේ මත්ස්‍ය සම්පත සහ සමුද්‍රීය පද්ධතිය විනාශ කරමින් ක්‍රියාත්මක වන නීති විරෝධී ධීවර මාෆියාව මුලිනුපුටා දැමීම සඳහා නාවික හමුදාව, රාජ්‍ය ආයතන සහ උතුරු පළාත් ධීවර ප්‍රජාව ඒකාබද්ධ වූ සුවිශේෂී වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.
උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම තීරණාත්මක සාකච්ඡාවේදී, නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් අනාගත පරපුරට සහ සංචාරක කර්මාන්තයට එල්ල වන මාරාන්තික තර්ජනය පිළිබඳව දැඩි අවධානය යොමු විය.
පුපුරණ ද්‍රව්‍ය සහ තහනම් පන්න ක්‍රම භාවිතා කරමින් මුහුදු සම්පත් විනාශ කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය විය.
නීත්‍යානුකූල ධීවරයින්ගේ ජීවනෝපාය රැකදෙන ලෙසත්, නීති කඩ කරන්නන්ට එරෙහිව උපරිම දඬුවම් දෙන ලෙසත් ධීවර සමිති නාවික හමුදාවෙන් නිල වශයෙන් ඉල්ලා සිටියහ.
විනාශ වන කොරල් පර සහ මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන රැකගැනීම හරහා මෙරට සංචාරක ව්‍යාපාරය සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය සහ ධීවර දෙපාර්තමේන්තුව එක්ව ඉදිරියේදී වැටලීම් දැඩි කිරීමට පියවර ගෙන ඇත.
මෙම පියවර උතුරු මුහුදේ සම්පත් මංකොල්ලයට එරෙහිව එල්ල කළ “අවසාන නිවේදනය” ලෙස බලධාරීහු හඳුන්වා දෙති.

