කුඩා තේ වතු ගොවියන් දැඩි අර්බුදයක – සහන නොලැබෙන බවට චෝදනා!
ශ්‍රී ලංකාවේ කුඩා තේ වතු හිමියන්ට තේ වගා අක්කරයකින් රුපියල් 40,000කට ආසන්න ආදායමක් අහිමි වීමේ බරපතල අවදානමක් මේ වන විට උද්ගත වී ඇති බව නලින්ද සේනාරත්න මහතා පැවසීය.
ගොවි ජන පවුර ජාතික සංවිධානයේ මාධ්‍ය නිලධාරිවරයා පැවසුවේ, මෙම අර්බුදය හමුවේ කුඩා තේ වතු ගොවියන්ට රජය මගින් කිසිදු සෘජු සහනයක් ලබා දී නොමැති බවත්ය.
තේ දළු මිල පසුගිය කාලය තුළ දැඩි ලෙස පහළ බැස ඇති අතර 2015 ජනවාරි මාසයට සාපේක්ෂව 2026 ජනවාරි මාසයේදී දළු කිලෝවක මිල රුපියල් 21කින් අඩුවී ඇති බවත්, 2025 පෙබරවාරි මාසය සමඟ සසඳන විට එය රුපියල් 35කින් පහළ ගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය.
ඔහු පැවසුවේ මැද පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් තේ සඳහා ජාත්‍යන්තර වෙළඳපොළේ මිල පහළ යාමක් දක්නට ලැබෙන බවත් එහි බලපෑම සෘජුවම ශ්‍රී ලංකාවේ වතු ගොවියන්ට එල්ල වන බවත්ය.
ඒ සමඟම වගා පිරිවැය ඉහළ යාම සහ ආදායම අඩුවීම හේතුවෙන් ගොවියන් තේ කර්මාන්තයෙන් ඉවත්වීමට පටන් ගෙන ඇති බවද ඔහු පැවසීය.
ලෝක තේ දත්ත අනුව 2020 සමඟ සසඳන විට චීනය තේ නිෂ්පාදනය මිලියන 720කින් වැඩි කරගෙන ඇති අතර ඉන්දියාව මිලියන 40කින්, කෙන්යාව මිලියන 28කින් සහ වියට්නාමය මිලියන 10කින් නිෂ්පාදනය වැඩි කරගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවට තේ අපනයනය වැඩි කිරීමට නම් මැද පෙරදිග වෙළඳපොළට පමණක් සීමා නොවී වෙනත් රටවල් වෙතද අපනයනය විහිදවිය යුතු බවත්, අයිස් ටී සහ තේ ආශ්‍රිත නව නිෂ්පාදන හඳුන්වාදීම මඟින් ලෝක වෙළඳපොළේ ශ්‍රී ලංකා තේ සඳහා නව අවස්ථා ලබා ගත හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

