පිරිවෙන් ගුරුවරයකුට ස්ථාන මාරුවක් සකස් කරදීම සඳහා රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ එම කලාපයේ ගුරු උපදේශකවරයෙකු අල්ලස් හෝ දූෂණ මර්ධන විමර්ශන අංශය විසින් ඊයේ (10) සවස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් දෙහිඅත්තකණ්ඩිය පොලිසියට රැගෙන ගොස් ප්‍රකාශ ලබාගෙන ඇති අතර අද (11) දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


(02) නිදන් මුවාවෙන් මුදල් වංචා කළ හයදෙනා සූරියවැවදී කොටු

රට වටා පුද්ගලයන් රවටමින් “නිදන්” මුවාවෙන් මුදල් වංචා කළ ව්‍යාජ ඇදුරෙකු ඇතුළු හයදෙනෙකු සූරියවැව අලි ඔළුආර ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (11) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

නිවසක නිදන් හාරමින් සිටියදී වැටලූ මෙම කණ්ඩායම සතුව ගල් පෙට්ටියක් සහ පූජා භාණ්ඩ රැසක් ද සොයාගෙන ඇත. සැකකරුවන් වයස අවුරුදු 35ත් 51ත් අතර පසුවන පුද්ගලයන් වන අතර, සූරියවැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


(03) වන අලියෙකුගේ ඡායාරූපයට ගිය රුසියානු කාන්තාවට බරපතළ තුවාල

බුත්තල–කතරගම මාර්ගයේ වන අලියෙකුගේ ඡායාරූප ගැනීමට ගිය විදේශීය යුවළකට වන අලි ප්‍රහාරයක් එල්ලවීමෙන් රුසියානු ජාතික 45 හැවිරිදි අරියානා නමැති කාන්තාව බරපතළ තුවාල ලබා ඇත.

ඇය සමඟ සිටි සැමියා දිවගොස් බේරී ඇති අතර තුවාල ලැබූ කාන්තාව ප්‍රථමයෙන් කතරගම රෝහලටත්, පසුව හම්බන්තොට මහ රෝහලටත් මාරු කර තිබේ. කතරගම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.


(04) වන අලි පහරින් සූරියවැව හේන් ගොවියෙකු මරුට

සූරියවැව ඉහළ කුඹුක්වැව ප්‍රදේශයේදී 69 හැවිරිදි හේන් ගොවියෙකු වන අලියෙකුගේ පහරින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.

තම වගාවට පැමිණි වන අලියෙකු පලවා හැරීමට ගිය අවස්ථාවේ සැඟවී සිටි අලියා පහරදී ඇති බව සඳහන් වේ. මෘතදේහය සූරියවැව රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.


(05) අමරකීර්ති අතුකෝරළ ඝාතනය: 12 දෙනෙකුට මරණ දඬුවම

අරගල සමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ විත්තිකරුවන් 12 දෙනෙකුට ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (11) මරණ දඬුවම නියම කළේය.

විත්තිකරුවන් 16 දෙනෙකු වරදකරුවන් කර ඇති අතර 4 දෙනෙකුට අත්හිටවූ සිර දඬුවම් නියම කෙරිණි. සෙසු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර ඇත. 2022 මැයි 9 දින නිට්ටඹුව නගර මධ්‍යයේ සිදු වූ මෙම ඝාතනයට අදාළව වසර දෙකහමාරක විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.


(06) තිරප්පනේදී ඉතිහාසයේ විශාලතම දඩයම් උපකරණ වැටලීම

තිරප්පනේ උට්ටිමඩුව–පල්ලන්කුලම ප්‍රදේශයේදී අටවා තිබූ මදු 120ක් සහ බදින කදන් 21ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෑත ඉතිහාසයේ එක් දිනකදී සොයාගත් විශාලතම දඩයම් උපකරණ තොගය ලෙස මෙය සැලකේ. වන අලින් ඇතුළු සතුන් තුවාල වීමට මෙම උපකරණ හේතු වී ඇති බව සැක කරයි. සැකකරුවන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Share.
Leave A Reply