(01) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

2022 මැයි මාසයේ පැවති අරගල සමයේදී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගර මධ්‍යයේදී ඝාතනය කළ බවට පුද්ගලයන් 41 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා ඇත.

මෙම නඩුවේ තීන්දුව ජනවාරි 14 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද, එය පෙබරවාරි 11 වන දක්වා කල්තැබීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේය.

(02) මවගේ රන් භාණ්ඩ සොරාගත් පුත්‍රයා අත්අඩංගුවට

උඩුගම්පොළ – කෙහෙල්බද්දර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් තම රන් භාණ්ඩ ඇතුළු වටිනා ගෘහ භාණ්ඩ කිහිපයක් නැතිවීම සම්බන්ධයෙන් සිදු කළ පැමිණිල්ලක් අනුව ගම්පහ පොලිසියේ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඒ අනුව සැකපිට අදාළ කාන්තාවගේ 34 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු දැඩි ලෙස හෙරොයින් පානයට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරයි.

ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු මත සොරාගත් බ්‍රේස්ලට් එකක්, රූපවාහිනී යන්ත්‍රයක් සහ අවන් එකක් අසල්වැසි නිවෙස්වලට විකිණා තිබියදී පොලිස් භාරයට ගෙන ඇත.

ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.

(03) රුපියල් ලක්ෂ 55කට අධික විදේශීය දුම්වැටි තොගයක් සමග ගුවන් මගියෙකු අත්අඩංගුවට

රුපියල් පනස් පන් ලක්ෂ විසි නව දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග විදේශීය ගුවන් මගියෙකු 02 දින අලුයම කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 45 හැවිරිදි ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයෙකු වන අතර, ඔහු සෞදි අරාබියේ සිට එයාර් අරේබියා ගුවන් සේවයේ G-9502 දරන ගුවන් යානයෙන් අදාල දිනයේ අලුයම 4.24ට මෙරටට පැමිණ තිබේ.

ඔහු රැගෙන ආ ගමන් මලු දෙක තුළ, ඉරානයේ අභ්‍යන්තර භාවිතය සඳහා නිෂ්පාදනය කළ “Bahman” වර්ගයේ දුම්වැටි 36,860ක් සඟවා තිබූ බව අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරති.

(04) පොලිස් රාජකාරියට බාධා කළ ජාඇල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

පොලිස් රාජකාරියට බාධා කළ බවට චෝදනා එල්ල වූ ජාඇල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාඇල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී රංග කොඩිතුවක්කු මහතාය.

කඳාන පල්ලියපාර ප්‍රදේශයේ අනවසර වෙළෙඳසැලක් ඉවත් කිරීමට ගිය ප්‍රාදේශීය සභා නිලධාරීන්ට ආරක්ෂාව සැපයූ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කඳාන පොලිසිය විසින් සිදු කෙරේ.

(05) රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මරුට

දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේදී 09 වන දින රාත්‍රියේ යතුරුපැදියක් හා වෑන් රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ තරුණයන් දෙදෙනෙකු මියගොස් ඇති බව සීගිරිය පොලිසිය පවසයි.

මෙම අනතුරින් වෑන් රථයේ රියදුරුට තුවාල සිදුව ඇති අතර, මියගිය තරුණයන් දෙදෙනා සංචාරක හෝටලයක සේවය කළ සේවකයන් බවට හඳුනාගෙන ඇත.

වෑන් රථය දඹුල්ල සිට හබරණ දෙසට ධාවනය වෙමින් තිබියදී, හබරණ සිට දඹුල්ල දෙසට පැමිණි යතුරුපැදිය තවත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ දඹුල්ල රත්මල්ගහඇල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි ගිම්හාන ජයතිලක සහ තනමල්විල ප්‍රදේශයේ පදිංචි විදු චේතිය රත්නායක (20) යන දෙදෙනාය.

සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

@ නිමල් අල්ගෙවත්ත 2026.02.10

වින්ච් මාදැල් තහනමට එරෙහි සත්‍යග්‍රහය දිගුවත් සමඟ මාළු මිල ඉහළට  ගොස් තිබේ.

ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර භාවිතා කර සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා මාදැල් ධීවරයින් ආරම්භ කළ සත්‍යග්‍රහය හේතුවෙන් මේ වනවිට රටපුරා මාළු මිල ඉහළ යාමක් දැකිය හැකි බව පාරිභෝගිකයෝ පවසති.

මෙම තත්ත්වය හේතුවෙන් ගම්මාන මෙන්ම නගරීය ප්‍රදේශවලද මාළු මිල ගණන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. කෙසේ නමුත් වෙළෙඳුන් පවසන්නේ මේ දිනවල වෙළෙඳපොළට පැමිණෙන මාළු තොග ප්‍රමාණයේ විශාල අඩුවක් නොමැති බවයි. එහෙත් සත්‍යග්‍රහය හේතුවෙන් තොග මිල ගණන් මෙන්ම සිල්ලර මිල ගණන්ද සුළු ලෙස ඉහළ යාමක් සිදුව ඇති බව ඔවුහු සඳහන් කළහ.

ඊයේ (10) දින පෑලියගොඩ මධ්‍යම මාළු වෙළෙඳපොළේදී කෙලවල්ලා මාළු කිලෝවක් රුපියල් 2,700කටත්, තෝර මාළු කිලෝවක් රුපියල් 3,600කටත්, පරා මාළු කිලෝවක් රුපියල් 3,000කටත් අලෙවි වූ බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ ය.

එසේම සාලයා මාළු කිලෝවක් රුපියල් 700ක්, ලින්නා මාළු කිලෝවක් රුපියල් 900ක් සහ බලයා මාළු කිලෝවක් රුපියල් 2,000ක් ලෙසද මිල ගණන් සටහන්ව තිබිණි.

වෙළෙඳපොළ ආරංචි මාර්ග අනාවරණය කරන්නේ සත්‍යග්‍රහය තවදුරටත් දිගු වුවහොත් මාළු මිල ගණන් තවත් ඉහළ යාමට ඉඩ ඇති බවයි.

මේ අතර, වින්ච් මාදැල් ධීවරයින්ගේ සත්‍යග්‍රහය අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව  සත්‍යග්‍රහයෝ පවසති. ජනාධිපතිවරයා යටතේ කමිටුවක් පත් කරන බවට පැවති සාකච්ඡාවේදී දැනුම් දුන් බවද, එහෙත් ජනාධිපතිවරයා සමඟ සෘජු සාකච්ඡාවක් අපේක්ෂාවෙන් සිටින බවද සත්‍යග්‍රහයේ නිරත ධීවරයෝ සඳහන් කළහ.

ඒ අතර ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ප්‍රකාශ කළේ වින්ච් මාදැල් ධීවරයින් විසින් ගොනු කර ඇති නඩුව පෙබරවාරි 27 වැනිදා යළි කැඳවීමට නියමිත බවත්, ඉන් අනතුරුව ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට රජය සූදානම් බවත්ය.

ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර භාවිතයෙන් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තය කොරල්පර හා මත්ස්‍ය අභිජනන ස්ථාන විනාශයට හේතු වන බව පෙන්වා දෙමින්, සමුද්‍රීය සම්පත් ආරක්ෂා කිරීම සඳහා මෙම තහනම පනවා ඇති බව රජය අවධාරණය කර තිබේ.

මෙම තහනමට විරෝධය පළ කරමින් සහ එය ඉවත් කරන ලෙස ඉල්ලා දිවයිනේ ප්‍රදේශ කිහිපයක වින්ච් මාදැල් ධීවරයින් පිරිසක් පසුගිය පෙබරවාරි 5 වැනිදා සිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතව සිටී.

Share.
Leave A Reply