ශ්‍රී ලංකා චිත්‍රකතා කලාව දශක හයකට අධික කාලයක් පුරා නිහඬව, නමුත් අතිශය ගැඹුරු ලෙස වෙනස් කළ මහා චිත්‍රශිල්පියා බන්ධුල හරිශ්චන්ද්‍ර මහතා 2026 පෙබරවාරි 01 වැනි දින 85 වැනි වියේදී අප අතරින් සමු ගත්තේය.
මියයන තුරුම යහපත් සෞඛ්‍යයෙන් පසු වූ ඔහුගේ අභාවය සමඟ ශ්‍රී ලංකා චිත්‍රකතා ඉතිහාසයේ අද්විතීය යුගයක් නිමාවට පත්ව ඇත.
ඔහුගේ දේහය මේ වන විට කළුතර, පානදුර, වලව්වත්ත, අළුබෝමුල්ල පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු අද (2026.02.02) පස්වරු 4.30ට බණ්ඩාරගම ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.
බිරිද කුසුම්මංගලික මහත්මිය සහ දියණිය සුමුදු කල්පනී හරිශ්චන්ද්‍ර අත්හැර ගිය බන්ධුල හරිශ්චන්ද්‍ර මහතා ශ්‍රී ලංකා චිත්‍රකතා කලාවේ අමරණීය මහා ශිල්පියෙකු ලෙස සදාකාලිකව සම්මත වනු ඇත.
1940 මැයි 24 දින පානදුර කෙසෙල්වත්තේ උපන් දොම්පේගේ බන්ධුල හරිශ්චන්ද්‍ර පීරිස්, ශ්‍රී ජීන ධර්මදාන විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය.
පසුව රජයේ ලලිත කලායතනයේ සති අන්ත පාඨමාලාව හදාරා, තම ගම් පළාතේ දරුවන්ට චිත්‍ර විෂය ස්වේච්ඡා ගුරුවරයෙකු ලෙස ඉගැන්වීමට ද ඔහු කැප විය. පානදුර තොරණ චිත්‍ර ඇඳීම තුළින් ද ඔහුගේ කලා හැකියාව ප්‍රසිද්ධියට පත්විය.
1962 වසරේ ලේක්හවුස් ආයතනයේ දිනමිණ පුවත්පත ඔස්සේ චිත්‍රකතා කලාවට පිවිසුණු බන්ධුල හරිශ්චන්ද්‍ර, එක් දිනකින් අවසන් වන ජාතක කතා චිත්‍රකතා ඇඳීම ආරම්භ කළේය. “සුලසා” ජාතකයෙන් ඇරඹි එම ගමනේදී ඔහු ජාතක කතා 38කට අධික ප්‍රමාණයක් නිර්මාණය කළ අතර, ඒවා සෑම සඳුදාවකම දිනමිණ පාඨකයන් අතර දැඩි ජනප්‍රියත්වයට පත් විය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රකතාව ලෙස සැලකෙන “නල දමයන්ති” නිර්මාණය කිරීමේ ගෞරවයද ඔහුට හිමි වන්නේ එම කාලය තුළය. එය චිත්‍රකතාව ළමා විනෝදාස්වාදයකින් ඔබ්බට ගෙන ගොස්, සම්භාව්‍ය සාහිත්‍යයට සමීප කළ වැදගත් මං සලකුණක් විය.
ජාතක කතා, බෞද්ධ හා බයිබල් කතා, මහාවංශය, මහා භාරතය, ග්‍රීක වීරකාව්‍ය, අරාබි නිසොල්ලාසය, ජපන් සෙන් කතා ඇතුළු විවිධ සංස්කෘතික ලෝක ඔහුගේ චිත්‍රකතා තුළ සජීවී විය. භූගෝලීය පරිසර, කාල පරාස, චරිත රූප, ඇඳුම් පැලඳුම්, ආභරණ සහ දේහ ලක්ෂණ අතිශය නිවැරදිව චිත්‍රණය කිරීම ඔහුගේ විශේෂත්වය විය.
පසුව සිළුමිණ පුවත්පත ඔස්සේ මහාවංශය, ශ්‍රී ලාංකීය ඉතිහාසය, දේශීය ලේඛකයන්ගේ කෘති සහ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රකතා ද ඔහුගේ නිර්මාණ ගමනට එක් විය. ජනප්‍රිය රැල්ලන් පසුපස නොයමින්, නිහඬව හා අඛණ්ඩව කළ මේ මෙහෙය හරහා ඔහු චිත්‍රකතාව සම්භාව්‍ය කලාවක් ලෙස සමාජගත කළේය.
චිත්‍රකතාවට සම්භාව්‍ය ගෞරවය දුන් බන්ධුල හරිශ්චන්ද්‍රයන් නිදහසේ සිය මරණමය චිත්‍රය සටහන් කර තිබිණි. දශක හයක් චිත්‍රකතාව උසස් කලාවක් කළ බන්ධුල හරිශ්චන්ද්‍රයන් සමුගැනීම සත්තකින්ම කලාවට සිදු වූ පාඩුවකි.
චිත්‍රකතා ඉතිහාසයේ අමරණීය යුගයක් නිමාවට පත් කරමින් බන්ධුල හරිශ්චන්ද්‍ර අද සමුගෙන යන්නේ ය. ජාතකයෙන් ග්‍රීක වීරකාව්‍ය දක්වා චිත්‍ර ගැන්වූ බන්ධුල හරිශ්චන්ද්‍රයයන් නිහඬව චිත්‍රකතාව සම්භාව්‍ය කලාවක් කළ මහා ශිල්පියා ලෙස සටහන් කළ හැකිය.
ජනමාධ්‍ය කලාව තුළ චිත්‍ර කලාව සිත්තම් කළ මොහු වර්ණ රේඛාවෙන් මිනිස් ජීවන කතාව හදවත සනසා ලන්නට හැකි පරිදි තෙළි තුඩින් රස කළේ ය.
චිත්‍ර කතාව ළමා විනෝදාස්වාදයකින් ඔබ්බට ගෙන ගිය මහා කලාකරු වූ ඔහු පුවත්පතක තනි තීරුවෙන් ජාතික සම්පතක් බවට පත් වූ කර රූපයෙන් සම්භාව්‍ය සාහිත්‍යය කියූ බන්ධුල හරිශ්චන්ද්‍ර සත්තකින්ම දක්ෂයන් අතර දක්ෂයෙක් විය.
තෙළි තුඩට සිත්තම් කළ අපේ කාලයේ නිහඩ රේඛාව නිහඬ නිහඩ වූ නම්ත් ඔහුගේ චිත්‍රණයේ රසය සදාතනික වනු ඇත.
චිත්‍රවලින් කතා කියූ මහා මිනිසා ඔහු ය. ඔහු ජීවින මගෙන් සමුගත්තේ ය. කඩදාසි මත ජීවිතය ඇඳි අපේ කාලයේ ශිල්පියා මළ හිරු බැසයන මේ නිමේෂයේ දී සැදෑ අහස අඳුරු කරමින් ඇඳි චිත්‍රයක් සටහන් කරමින් නික්ම ගියේ ය. සත්තකින්ම රේඛාව නතර වුණත් කතාව සදා ජීවමාන වේ.
ශ්‍රී ලංකා චිත්‍රකතා කලාවේ අමරණීය නාමය – බන්ධුල හරිශ්චන්ද්‍ර නම් වූ අතර චිත්‍රකතා කලාවට ශාස්ත්‍රීය මට්ටමක් දුන් මහා ශිල්පියා බවට ඉතිහාස ගත වුන ඔහු ජාතකයෙන් මහාවංශය දක්වා රූප ගැන්වූ කලා චාරිකාව රසවත් කරන්නට අපේ කලාකරුවට හැකි විය. අප ඔහුට නිවන් සුව පතමු.

