මේ නිසා නිදහස් සෞඛ්‍ය සේවය විනාශ වෙමින් යන බව ද හෙතෙම කීය.
රටේ සෞඛ්‍ය පද්ධතිය දැවැන්ත පසුබෑමකට ලක්ව තිබුණද එහි බරපතළකම තවමත් ආණ්ඩුවට වටහා ගෙන නොමැති බව ඔහු සඳහන් කළේ ය.
සෞඛ්‍ය පද්ධතිය සුව කිරීමට පෙර ආණ්ඩුවේ “අසනීපය” සුව කිරීමට පියවර ගත යුතු බව ද ඔහු අවධාරණය කළේය.
වෛද්‍ය ජී. වීරසිංහ මහතා පෙන්වා දුන්නේ, රටේ නිදහස් සෞඛ්‍ය සේවය අද බරපතළ ලෙස විනාශ වෙමින් පවතින බවත්, එයට ප්‍රධාන හේතුව ආණ්ඩුවේ අසාර්ථක තීරණ හා නිසි අවබෝධයක් නොමැති ක්‍රියාමාර්ග බවත්ය.
රට තුළ දැඩි ඖෂධ හිඟයක් පවතින අතර, භෞතික සම්පත් මෙන්ම මානව සම්පත් හිඟයද සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමට ප්‍රධාන ලෙස බලපා ඇති බව ඔහු පැවසීය.
සෞඛ්‍ය අංශයේ වෛද්‍යවරුන් සහ අනෙකුත් සේවකයින් මුහුණ දෙන ගැටලු පිළිබඳව ආණ්ඩුවට නිවැරදි අවබෝධයක් නොමැතිව කටයුතු කිරීම නිසා අද මෙම අර්බුදකාරී තත්ත්වයට රට පත්ව ඇති බවද හෙතෙම චෝදනා කළේ ය.
“අධ්‍යාපනයත් සෞඛ්‍යයත් කියන්නේ රටක් දියුණුවට ගෙන යන දැවැන්තම ආයෝජන අවස්ථා දෙක. නමුත්, ලංකාවේ ආණ්ඩුව ඒක තවම තේරුම් අරගෙන නෑ. ලෝකයේ බොහෝ රටවල් මේ සත්‍යය අවබෝධ කරගෙන තම රටවල් දියුණුවට ගෙන ගියා” යයි ද වෛද්‍ය වීරසිංහ මහතා ප්‍රකාශ කළේ ය.
ගැටලු විසඳීමේ දී ආණ්ඩුවේ ආකල්පමය වෙනසක් අත්‍යවශ්‍ය බව අවධාරණය කළ ඔහු නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කිරීමට කඩිනම් හා ප්‍රායෝගික පියවර ගන්නා ලෙස ආණ්ඩුවට සිහිපත් කළේ ය.
සෞඛ්‍ය සේවයේ සැබෑ ගැටලු හඳුනා නොගෙන අර්ධ විසඳුම් ලබාදීමට උත්සාහ කිරීම හේතුවෙන් අද ආණ්ඩුව විසඳුම් නොමැති අර්බුදයක සිරවී ඇති අතර, එහි බර ජනතාවට දරා ගැනීමට සිදුව ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

