• කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ වාර්ෂික ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේදී අගමැතිනිය කියයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව වෘත්තීය අධ්‍යාපනය නංවාලීමට සහ ගුණාත්මක පුහුණු ආයතන ශක්තිමත් කිරීමට උපරිම අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසුවාය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH)

(27) පැවති කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ වාර්ෂික ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රදානෝත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සදහන් කළාය.

මෙරට ශ්‍රම වෙළෙඳපොළට අවශ්‍ය ගුණාත්මක වෘත්තිකයින් බිහිකිරීම අරමුණු කර ගනිමින් 2023 සහ 2024 වර්ෂයන්ට අදාළව, දිවයින පුරා පිහිටි තාක්ෂණික විද්‍යාල හරහා NVQ 5 සහ NVQ 6 මට්ටම් සම්පූර්ණ කළ සිසුන් සඳහා ඩිප්ලෝමා සහතිකපත් මෙහිදී ප්‍රදානය කෙරිණ.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීවාය.

ශ්‍රී ලංකාවේ තාක්ෂණික අධ්‍යාපනයට සියවසකට අධික ඉතිහාසයක් තිබෙනවා. තරුණ රැකියා උත්පාදනය උදෙසා තාක්ෂණික විද්‍යාල ජාලය ඉටුකරන මෙහෙවර අපි අගය කරනවා.

ලෝකය වෙනස් වන වේගයත් සමඟ ඇතිවන අනාගත අවිනිශ්චිතතාවන්ට මුහුණ දීමට නම් කුසලතා නිරන්තරයෙන් වැඩිදියුණු කරගත යුතුයි. අලුත් දේවල් ඉගෙනීමට ඇති කුතුහලය සහ උවමනාව කිසිදා අතහැර නොගත යුතු අතර, වෘත්තීය පුහුණු ආයතනයකින් ලැබෙන වැදගත්ම දායාදය වන්නේ ‘ඉගෙන ගන්නා ආකාරය’ ඉගෙන ගැනීමයි.

රටේ ආර්ථික හා සමාජීය දියුණුවට නායකත්වය දෙන කොටස්කරුවන් ලෙස, අද දවසේ ඩිප්ලෝමාධාරීන් ලෙස සහතිකපත් හිමි කර ගන්නා ඔබ රටට සහ ලෝකයට ප්‍රයෝජනවත් පුරවැසියන් වනු ඇතැයි තමන් විශ්වාස කරන බව අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.

මෙම අවස්ථාවට වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පීඨාධිපතිතුමිය, තාක්ෂණික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ටී. බාබු මහත්මිය ඇතුළු නිලධාරීන් සහ දෙමාපියන් විශාල පිරිසක් සහභාගී වූහ.

Share.
Leave A Reply