ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ වන විට ගැඹුරු අර්බුදයකට මුහුණ දෙමින් පවතින බව කොළඹ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ  පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී විශේෂඥ මනෝ වෛද්‍යවරුන් රටටම අනතුරු අඟවා සිටියහ.

විශේෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ මානසික රෝගී තත්ත්ව කළමනාකරණය තවමත් වසර 100කට අධික පැරණි මානසික සෞඛ්‍ය ආඥා පණතක් යටතේ සිදු වීම දැඩි බාධාවක් වී ඇති බවයි.

“මේ පණත නව යුගයට නොගැලපෙන එකක්. මාගේ සම්පූර්ණ වෛද්‍ය ජීවිත කාලය තුළම නව මානසික සෞඛ්‍ය පනතක් ගෙන එන්න සටන් කළා” යැයි ඔහු අවධාරණය කළේය.

ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය සාක්ෂරතාවය සහ ජනතා දැනුම ඉතා අඩු මට්ටමක පවතින අතර, මානසික රෝග පිළිබඳ මිත්‍යාවන් සමාජයේ ගැඹුරට මුල් බැස ඇති බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 5% – 8% අතර ප්‍රතිශතයක් ලිංගිකව වෙනස් සුළුතර කාණ්ඩයට අයත් වන අතර ඔවුන් පහත් කොට සැලකීම කිසිසේත් අනුමත කළ නොහැකි බවද ඔහු අවධාරණය කළේය.

LGBTQ ප්‍රජාවට එරෙහි වෛරය මානසික සෞඛ්‍ය ගැටලුවක් ලෙසත් අපි දැකිය යුතුයි” යැයි රණසිංහ මහතා පැවසීය.

LGBTQ යනු රෝගයක් නොවේ. එය අසත්‍යයක් හෝ අපරාධයක්ද නොවේ.එය මනුෂ්‍ය සමාජයේ ස්වභාවික විවිධත්වයේ එක් කොටසකි. ඒ නිසා LGBTQ පුද්ගලයින්ට අගෞරව කිරීම, පහත් කොට සැලකීම හෝ හංසනය කිරීම මානසික සෞඛ්‍යයටත් සමාජයටත් අහිතකරය. ඔවුන්ටත් අනෙක් සියලුම පුරවැසියන්ට මෙන්ම ගෞරවයෙන් හා මනුෂ්‍යත්වයෙන් සැලකීම සමාජයේ වගකීමක් බව ද  රණසිංහ මහතා පැවසීය.

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා සඳහන් කළේ වසර 20කට අධික කාලයක් තිස්සේ මානසික සෞඛ්‍ය පනත සංශෝධනය කිරීමට උත්සාහ දරමින් සිටින බවත්, නව ජාතික මානසික සෞඛ්‍ය පනත ලඟදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වේගයෙන් කටයුතු කරමින් සිටින බවත්ය.

මේ අතර ළමා සහ නව යොවුන් වයස් කාණ්ඩය තුළද බරපතල අනතුරු සංඥා පෙනෙන්නට ඇති බව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දුන්නාහ.

ළමා හා නව යොවුන් විය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සේනානි විජේතුංග මහත්මිය සඳහන් කළේ පාසල් ළමුන් මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මානසික රෝගීන් බවට පත්වීමේ සිද්ධීන් වාර්තා වන බවයි.

විශේෂඥ වෛද්‍ය මහේෂා ද සිල්වා මහත්මියද මේ දිනවල මත්ද්‍රව්‍ය භාවිතය නිසා රෝගී තත්ත්වයෙන් රෝහල් ගත වන පිරිස ඉහළ යමින් පවතින බව පෙන්වා දුන් අතර, එවැනි රෝගීන් සඳහා වෙනම වාට්ටු ඉදිකිරීමේ සැලසුමක් ද පවතින බව සඳහන් කළාය.

වැඩිහිටියන් සම්බන්ධයෙන්ද තත්ත්වය ගැඹුරුය. දැනට වැඩිහිටියන් අතර 30%ක පමණ පිරිසක් විවිධ මානසික රෝගී තත්ත්වයන්ට ලක්ව සිටින නමුත් බොහෝ දෙනා එය නොසලකා හැරීම බරපතල ගැටලුවක් බව විශේෂඥ වෛද්‍ය මධුෂානි ඩයස් මහත්මිය පෙන්වා දුන්නාය.

ශ්‍රී ලංකාවේ වැඩිහිටි නිවාස බොහෝවක් පෞද්ගලික ආයතන වන අතර, එම ආයතනවල වැඩිහිටියන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුම සහ සැලකිල්ල ඉතා අඩු බවත් ඇය අවධාරණය කළාය.

දරුවන් රට හැර යාම හේතුවෙන් වැඩිහිටියන් තනිවීම තවත් සමාජීය අර්බුදයක් බවට පත්ව ඇති අතර, පිටරට සිටින දරුවන් නිතර වීඩියෝ ඇමතුම් හරහා හෝ සම්බන්ධතාවය පවත්වා ගත යුතු බවත්, වැඩිහිටියන් සමාජීය කටයුතුවල නිරත විය යුතු බවත් ඇය ඉල්ලා සිටියාය.

රට තුළ මනෝ වෛද්‍ය විශේෂඥයින්ගේ දැඩි හිඟයක් පවතින බවද මෙහිදී හෙළි විය. විශේෂඥ වෛද්‍ය පුෂ්පා රණසිංහ මහත්මිය සඳහන් කළේ විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාම නිසා පවතින හිඟය පියවීමට Tele-medicine ක්‍රමවේද භාවිත කරමින් වැඩි සේවාවක් ලබාදීමට උත්සාහ කරමින් සිටින බවයි.

අපරාධ හා මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන්ද දැඩි අනතුරු ඇඟවීමක් සිදු විය. අධිකරණ මනෝ වෛද්‍ය විශේෂඥ තාරක ප්‍රනාන්දු මහතා පැවසුවේ අපරාධකාරී මානසික තත්ත්ව ඉහළ යමින් පවතින අතර, විශේෂයෙන් වයස අවුරුදු 16ත් 22ත් අතර පිරිසගේ අපරාධ චර්යාව පසුගිය වසර 10 තුළ සියයට 200කින් ඉහළ ගොස් ඇති බවයි.

“මේ තත්ත්වය පාලනය නොකළහොත් ඉදිරියේදී බන්ධනාගාර පිරී යාමේ අවදානමක් ඇත. වහා මැදිහත්වීම් අවශ්‍යයි” යැයි ඔහු අවධාරණය කළේය.

බන්ධනාගාර සේවය සම්බන්ධයෙන් සමාජයේ පවතින අහිතකර මතයන් අතරද, රැඳවියන්ගේ මානසික තත්ත්වය පිළිබඳ සැලකිල්ල තවදුරටත් වැඩි කළ යුතු බවත්, අපරාධකරුවන් වීරත්වයට ඔසවා තැබීම හෝ දේශපාලනඥයින් ඇතුළු කිසිවකුට විශේෂ සැලකිල්ලක් නොදිය යුතු බවත් තාරක ප්‍රනාන්දු මහතා දැඩි ලෙස කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුව අවසානයේදී මාධ්‍යවේදීන් සමඟ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ක්ෂේත්‍ර චාරිකාවක්ද පැවැත්වුණි.

එහිදී හෙළි වූයේ සුවවී තිබුණද යන්නට තැනක් නොමැතිව පුද්ගලයින් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ක්‍රියාමාර්ග නොමැතිකම හේතුවෙන් මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය තුළ තවමත් රැඳී සිටින බවයි.

මෙවැනි පුද්ගලයින් සමාන වශයෙන් 500කට අධික පිරිසක් මේ වන විටත් රෝහලට විශාල බරක් බවට පත්ව ඇති අතර, ඔවුන් නිසි ආයතනවලට හෝ ගෙදරට යොමු කිරීමට රජය සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව වහාම ක්‍රියාමාර්ග ගත යුතු බව විශේෂඥ වෛද්‍ය කපිල රණසිංහ මහතා අවධාරණය කළේය.

මේ සියලු කරුණු සමඟ, ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍යය දැන් තනි පුද්ගල ගැටලුවක් නොව, ජාතික අර්බුදයක් බවට පත්ව ඇති බවත්, එයට නව නීති, නව ප්‍රතිපත්ති සහ සමාජයේ සියලුම පාර්ශවයන්ගේ සෘජු මැදිහත් වීම අත්‍යවශ්‍ය බවත් විශේෂඥයින් රටටම පැහැදිලි පණිවිඩයක් ලෙස ඉදිරිපත් කළහ.

මේ අනුව මෙම මධ්‍ය හමුවේ දී වෛද්‍යවරු අවධාරණය කළේ

වසර 100ක් පැරණි පණතකින් මානසික සෞඛ්‍යය කළමනාකරණය කරන ලංකාව – රට භයානක අර්බුදයකට ගමන් කරන බවයි. යල් පැන ගිය පණතක්, නව යුගයේ රෝග – ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍යය අනතුරේ ඇති බවද මෙහිදී අවධාරණය කෙරිණි.මානසික සෞඛ්‍යයට නව නීතියක් නැතිනම් රටට විනාශයක්  බවද විශේෂඥයින් අනතුරු හැඟ වූහ.

මානසික රෝග, මත්ද්‍රව්‍ය, අපරාධ – යල් පැන ගිය නීතියක් යටතේ රටම අසරණ වෙන  බවත් ළමුන්ගෙන් වැඩිහිටියන් දක්වා මානසික අර්බුදය වසර 100ක පණතක සිරවුණු ශ්‍රී ලංකාව මේවන විට පවතින බවද මෙහිදි අවධෘරණය කෙරිණි.

අගෞරවයත් මිත්‍යාවත් මැද මානසික සෞඛ්‍යය – නව නීතියක් නැතිව ලංකාව වල් මත් වී ඇති බවද මෙහිදි වෛද්‍යවරු පෙන්වා දුන්හ.

තරුණ හා අපරාධ කේන්ද්‍ර කරගත් තරුණ අපරාධ සියයට 200කින් ඉහළට ගමන් කළ හැකි බවත්  මානසික සෞඛ්‍ය පනතේ අසාර්ථකත්වය මේ අනුව හෙළිවෙන බවද ඔවුහු පැවසුහ.

මානව හිමිකම් යටතේ LGBTQ කේන්ද්‍ර කරගත් ක්‍රියාවලිය LGBTQ පහත් කොට සැලකීමත් මානසික අර්බුදයේ කොටසක් බවද විශේෂඥ වෛද්‍යවරුන් පැවසුහ. ‘LGBTQ රෝගයක් නොවේ’ – මානසික සෞඛ්‍යය ගැන රටට දැඩි පණිවිඩයක් බවද ඔවුහු පැවසුහ. නව මානසික සෞඛ්‍ය පනතක් නැතිනම් ඉදිරිය භයානක විය හැකි බවද වෛදළුවරු අවධාරණය කළ සිටියහ.

Share.
Leave A Reply