කොළඹ නගර සභාවේ 15 වසරක දූෂණ වංචා හෑරීමට ජනපති කොමිසමක්: පෙබරවාරි 23 ට පෙර පැමිණිලි කරන්න!
2010 වසරේ සිට 2025 දක්වා දශක එකහමාරකට ආසන්න කාලයක් කොළඹ මහ නගර සභාව තුළ සිදුව ඇතැයි සැලකෙන මහා පරිමාණ දූෂණ, වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා වාර්තා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව, මහජන පැමිණිලි සහ තොරතුරු කැඳවීම ආරම්භ කර තිබේ.
පරීක්ෂණ කොමිෂන් සභා පනතේ විධිවිධාන ප්‍රකාරව, 2025 දෙසැම්බර් 30 වැනි දින නිකුත් කරන ලද අංක 2469/08 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මෙම කොමිසම ස්ථාපිත කර ඇත. හිටපු මහාධිකරණ විනිසුරු නීතිඥ පියසේන රණසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ (1 ශ්‍රේණිය) ඊ.ආර්.එම්.එස්.එච්. ඒකනායක සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එස්. වික්‍රමසිංහ යන මහත්වරු කටයුතු කරති.
විමර්ශනයට ලක්වන ප්‍රධාන ක්ෂේත්‍ර: මෙම කොමිසම මගින් පහත සඳහන් බරපතළ ගණයේ චෝදනා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනු ඇත:
රජයේ සම්පත්, බලය සහ වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම හෝ අවභාවිතය.
සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම.
ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් සිදු කළ ගනුදෙනු.
නීත්‍යානුකූල නොවන බඳවා ගැනීම් සහ පත්කිරීම්.
නිශ්චල හෝ චංචල දේපොළ කුලියට හෝ බද්දට දීමේදී සිදු කළ අක්‍රමිකතා.
නිසි කාර්ය පරිපාටියෙන් බැහැරව සිදු කළ නඩු කටයුතු සහ සමථ කිරීම් හේතුවෙන් රජයට සිදු වූ පාඩු.
මෙම කොමිෂන් සභාවේ ප්‍රථම අතුරු වාර්තාව මාස තුනක් ඇතුළත ද, අවසාන වාර්තාව සහ නිර්දේශ මාස හයක් ඇතුළත ද ජනාධිපතිවරයා වෙත භාර දීමට නියමිතය.
පැමිණිලි ඉදිරිපත් කළ යුතු ආකාරය: ඕනෑම පුද්ගලයෙකුට, සංවිධානයකට හෝ ආයතනයකට තමන් සතු ලිඛිත පැමිණිලි හෝ තොරතුරු සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කළ හැකිය.
ලිපිනය: ලේකම්, ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව, අංක 152, ගාලු පාර, කොළඹ 03.
අවසන් දිනය: 2026 පෙබරවාරි මස 23 වන දින හෝ ඊට පෙර.
අවශ්‍ය තොරතුරු: පැමිණිලිකරුගේ නම, ලිපිනය, දුරකථන අංකය, ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කළ යුතුය. (අනන්‍යතාව හෙළි කිරීමට අකමැති නම් ඒ බව සඳහන් කර රහස්‍යභාවය ඉල්ලා සිටිය හැකිය.)
වාචිකව තොරතුරු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන පිරිස් සඳහා 011 2 301 735 යන දුරකථන අංකය ඔස්සේ 2026 පෙබරවාරි 23 ට පෙර දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.

