අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් සිදු කළ බව කියන “අපට ගැහුවොත් අපි ෂොට් එක දෙනවා” යන ප්‍රකාශයට විරෝධය පළ කරමින් සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ (22) මිහින්තලේ වලවා හැංගුණු වැවේ ධර්මරත්න නායක ස්වාමීන් වහන්සේ බැහැ දකිමින් සිය විරෝධය පළ කළහ.
මෙහිදී අදහස් දැක්වූ සිවිල් ක්‍රියාකාරීන් පෙන්වා දුන්නේ, සිවුර, ජාතික ඇඳුම හෝ කළු කෝට්ටුව යන්න අදාළ නොව, රටේ ජනතාව නියෝජනය කරන ඇමතිවරයෙකු විසින් මෙවැනි තර්ජනකාරී ප්‍රකාශ සිදු කිරීම බරපතළ කරුණක් බවය.
එවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීමට සිවිල් ක්‍රියාකාරීන් ලෙස ඉදිරියේදී පියවර ගන්නා බව විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා සඳහන් කළේය.
ඇතැම් ඇමතිවරුන් පන්තිය පිළිබඳව පමණක් කතා කරමින්, තමන් ජාතික දේශපාලනයේ වගකීම් දරන නියෝජිතයන් බව අමතක කරමින් ක්‍රියා කරන බවද මෙහිදී සිවිල් ක්‍රියාකාරීහු අවධාරණය කළහ. ඉතිහාසයේ ජෝන් ඩොයිලි විසින් “ලංකාව යටපත් කිරීමට සංඝයා භේද කළ යුතුය” යන අදහස පළ කළ බව සිහිපත් කළ ඔවුහු, අද සිදුවන්නේද එවැනිම උත්සාහයක්ද යන්න පිළිබඳ ගැටළුවක් මතුවන බවද ප්‍රකාශ කළහ.
ඒ අනුව “එදා සුද්දට කරගැනීමට නොහැකි වූ දේ, අද කිසිවකුට හිතන්නවත් ඉඩ නොදෙන්නෙමු” යන ස්ථාවරය ඔවුහු ප්‍රකාශ කළහ.
මෙහිදී අදහස් දැක්වූ සංජීව ධම්මික මහතා සඳහන් කළේ, වගකීම් සහිත තනතුරු දරන පුද්ගලයන් ඒවාට අදාළ වගකීම් නිසි ලෙස ඉටු නොකරන බවයි. සියලු ජාතීන් නියෝජනය කරමින් සිවිල් ක්‍රියාකාරීන් ලෙස මෙම අවස්ථාවට සහභාගී වූයේ සමාජ වගකීමක් ලෙස බවද ඔහු පැවසීය.
එමෙන්ම 2010 වසරට පෙර සහ වර්තමානයේ මිහින්තලේ පුදබිමේ පවත්නා තත්ත්වය පිළිබඳව නායක ස්වාමීන් වහන්සේ විසින් සිදු කර ඇති සේවය අගය කළ සිවිල් ක්‍රියාකාරීහු, ඒ සඳහා සිය ස්තුතියද පළ කළහ.
මෙම අවස්ථාවට ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත්, විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සභාපති MDR අතුල, සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සභාපති හර්ෂණ රුක්ෂාන්, සිංහල රාවයේ ජාතික සංවිධානයේ මහලේකම් මධු භාෂණ ප්‍රභාත් රණහංස, ජාතික ක්‍රියාකාරී පෙරමුණේ ජාතික සංවිධායක කේ. මාදවන්, එම පෙරමුණේ ලේකම් චාන්දනී අමන්දා පෙරේරා සහ දුටුගැමුණු සංවිධානයේ ලේකම් කුසුම් සිරි දසනායක ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් රැසක් සහභාගී වූහ.

