(01) හපුගස්තැන්න වැවිලි ඉඩම් වංචා සිද්ධිය – ශරීර ඇප මත මුදාහැරීම
පෞද්ගලික සමාගමකට 53 අවුරුදු බදු පදනමක් මත ලබා දී තිබූ රත්නපුර හපුගස්තැන්න වැවිලි සමාගමට අයත් අක්කර පහක ඉඩමක් සම්බන්ධයෙන් ව්‍යාජ පත්තිරු සකස් කළ බවට චෝදනා ලැබූ නීතිඥවරියක් සහ පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙකු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝධරගම් මහතා (21) නියෝග කළේය.
සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කර ඔවුන් සතු විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදෙන ලෙසද, සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අවවාද කළේය.
(02) ගෝන මස් ජාවාරම – බලපෑම් සිද්ධිය පිළිබඳ විමර්ශනයක්
දෙහිඅත්තකණ්ඩිය නව මැදගම ප්‍රදේශයේ වෙළඳසැලක අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගෝන මස් කිලෝ 35ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, වැටලීම සිදුකළ වනජීවී නිලධාරීන්ට දුරකථනයෙන් බලපෑම් කළ බවට මානව හිමිකම් කොමිසමේ ජාතික අධ්‍යක්ෂවරයෙකු යැයි හඳුන්වාගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස බී වාර්තාවක් මගින් අධිකරණයට දන්වා ඇත.
සැකකරුවන් දෙදෙනා 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත.
(03) කළුතර පාලමෙන් ගඟට පැන ඇති බවට සැකය – මෙහෙයුම්
කළුතර පාලමෙන් කළු ගඟට පැන ඇති බවට සැකයක් මත 32 හැවිරිදි ගණකාධිකාරියෙකු සොයා කිමිදුම්කරුවන් සහ නාවික හමුදා ජීවිත ආරක්ෂක නිලධාරීන් විසින් ඊයේ (21) දහවල් මෙහෙයුමක් ආරම්භ කර ඇත.
අතුරුදන් වූ පුද්ගලයාගේ ජංගම දුරකථනය පාලම මත හමුවී ඇති අතර, ඔහු පාලම දෙසට ගමන් කරන අයුරු CCTV දර්ශනවල සටහන්ව ඇති බව පොලිසිය පවසයි.
(04) වසන්ත මුදලිගේ ඇතුළු නඩුව – වරෙන්තු නිකුත් කෙරේ
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු නව දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව මහර අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේ වසන්ත මුදලිගේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට වරෙන්තු නිකුත් කර නඩුව ලබන ජූනි 23 වැනිදාට කල් තබන ලදී.
(05) පාසල් සිසුවියන්ට අසභ්‍ය දර්ශන – සැකකරු අත්අඩංගුවට
නානුඔය ප්‍රදේශයේ පාසල් සිසුවියන් පිරිසකට අසභ්‍ය ඡායාරූප සහ දර්ශන පෙන්වූ බවට චෝදනා ලැබූ 56 හැවිරිදි පුද්ගලයෙකු (20) දින අත්අඩංගුවට ගත් බව නානුඔය පොලිසිය පවසයි.
අදාළ සිසුවියන් අධිකරණ වෛද්‍ය වාර්තා ලබාගැනීම සඳහා නුවරඑලිය මහ රෝහලට යොමු කර ඇත.
(06) පුරාවස්තු කැණීම් – සැකකරුවන්ට දඩ
මොරවක ප්‍රදේශයේ පුරාවස්තු සෙවීමේ අරමුණින් නීතිවිරෝධී කැණීම් සිදුකළ බවට චෝදනා ලැබූ සැකකරුවන් හතර දෙනෙකුට එක් අයෙකුට රුපියල් 50,000 බැගින් රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් නියම කර ඇත.
පුරාවිද්‍යා නිලධාරීන්ගේ වාර්තාව අනුව නඩුව තවදුරටත් පවත්වාගෙන යාම අවශ්‍ය නොවන බව පොලිසිය අධිකරණයට දන්වා ඇත.
(07) ගාලුමුවදොර පහරදීමේ නඩුව – සැකකරුවන් අත්අඩංගුවට නියෝග
2022 වසරේ ගාලුමුවදොර පැවති සාමකාමී උද්ඝෝෂණයකදී අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළව අධිකරණයේ පෙනී නොසිටි මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා නියෝග කළේය.
නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන මැයි 20 වැනිදා යළි කැඳවීමටද නියෝග කර ඇත.

