ගුරු පුරප්පාඩු 40,000ක් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අභියෝගයක් – ලංකා ගුරුසේවා සංගමය!
රට තුළ ගුරු පුරප්පාඩු 40,000කට ආසන්න ප්‍රමාණයක් පවතින බැවින් එය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ප්‍රධාන අභියෝගයක් වන බව ලංකා ගුරුසේවා සංගමය පවසයි.
එහෙත් මෙම අභියෝගය ජය ගැනීම සඳහා ආණ්ඩුවට නිරතුරුවම සහයෝගය ලබාදෙන බව ද, ගෝලීය පිරිපුන් පුරවැසියෙක් බිහිකිරීමට හැකි වන පරිදි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවද එම සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම මහතා කියා සිටියේය.
කොළඹදී ඊයේ (21) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.
අධ්‍යාපන සභාව නෛතිකව කටයුතු කරමින් අධ්‍යාපන ක්ෂේත්රයේ දියුණුව සඳහා රට ඉදිරියට ගෙන යා යුතුයි. ගුරුවරුන්ගේ වෘත්තීය ගැටලු විසඳා ගැනීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීම අත්‍යවශ්‍යයි. වර්තමානයේ රටේ ගුරු පුරප්පාඩු 40,000කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා.මෙය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී ලොකු අභියෝගයක්.
2023දී අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා. අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ උත්සාහයන් එදා නැවැත්වූයේ අපිමයි.
අද පන්ති කාමරයට යල් පැන ගිය දියුණු අධ්‍යාපන ක්‍රමවේදයන්, තාක්ෂණය හා මානව සම්පත් දියුණු කිරීම යනු ගුරුවරයා යාවත්කාලීන කිරීමයි. ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීම මගින් ඔවුන්ගේ ගෞරවය හා ආකර්ෂණය වැඩි කරමින්, රටේ අධ්‍යාපනය ඉදිරියට ගෙන යාමට මෙය ලොකු පියවරක්.
2026 වර්ෂයේ ගුරු වැටුප් සංශෝධනය හරහා වසර 27ක් පුරා අසාධාරණයට ලක්ව තිබූ ගුරු වැටුප් පද්ධතිය ගෞරවනීය මට්ටමකට උසස් කිරීමට ආණ්ඩුව පියවර ගෙන තියනවා.
රුපියල් 56,000ක් පමණ වූ ගුරු වැටුප රුපියල් 80,000කට අධික මට්ටමකට ඉහළ ගොස් තියනවා.
ගුරු හා විදුහල්පති වැටුප් වැඩිවීමත් සමඟ ගුරුවරුන්ගේ කාර්යක්ෂමතාව ඉහළ යන අතර, සතුටින් දරුවන්ට උගන්වන පරිසරයක් නිර්මාණය වෙනවා. එය ගුරු භූමිකාව නිසි ලෙස ඉටුකර ගැනීම සඳහා ඉතා වැදගත් කරුණක්.
අධ්‍යාපන සභාව නෛතික කටයුතු ක්‍රියාත්මක කරමින් අධ්‍යාපන ක්ෂේත්රය සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත්, රටේ දියුණු අධ්‍යාපන පද්ධතියක් සඳහා මෙය අත්‍යවශ්‍ය වෙනවා.
ගුරුවරුන්ට පවතින වෘත්තීය ගැටලු විසඳා ගැනීමද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමඟ සමගාමීව සිදු කළ යුතුයි.
2023 වසරේ යෝජනා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට නොහැකිව එය හකුළා ගැනීමට සිදුවූ බවත්, අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට ගත් උත්සාහය ගුරු සංගම් විසින් නවතා දැමුවා.
වත්මන් ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරමින් ඉදිරියට ගමන් කරන බව කියන්නට කැමැතියි.
යල්පැන ගිය පන්ති කාමර ක්‍රමයෙන් ඉවත්ව තාක්ෂණයෙන් යුත් නව අධ්‍යාපන ක්‍රමවේදයකට ගමන් කළ යුතු බවත්, ඒ සඳහා ගුරුවරුන් යාවත්කාලීන මානව සම්පතක් ලෙස සංවර්ධනය කළ යුතුයි.
ඉදිරියේදී ගුරුවරුන් විසින් වර්ජන හෝ පිකටින් සිදු නොකරන බවත්, ආණ්ඩුව ගුරුවරුන්ගේ හා පාසල් දරුවන්ගේ ගැටලු සැලසුම් සහගත හා විද්‍යාත්මක ලෙස විසඳමින් කටයුතු කරන බව පෙන්වා දිය හැකියි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක කරගැනීම සඳහා ගුරුවරුන්ගේ සහ දෙමාපියන්ගේ විශ්වාසය දිනාගැනීම අත්‍යවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් අවිශ්වාසයක් හෝ සැකයක් ඇති කරගත යුතු නෑ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුව සමඟ එකට සිටින බවද ඔහු අවධාරණය කළේය.

