වියට්නාම තාක්ෂණයෙන් මෙරට ඉස්සන් හා විසිතුරු මසුන් කර්මාන්තය ජාත්‍යන්තරයට රැගෙන යන බව ධීවර අමාත්‍යාංශය පවසයි.

ලංකාවේ ඉස්සන් සහ විසිතුරු මසුන් කර්මාන්තය නවීන තාක්ෂණයෙන් බලගන්වා ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම සඳහා වියට්නාමය සමඟ පුළුල් සහයෝගීතා වැඩසටහනක් ආරම්භ කර ඇති බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා ප්‍රකාශ කළේය.

මෙම නව වැඩපිළිවෙළ යටතේ වියට්නාමයේ සාර්ථකත්වය තහවුරු කර ඇති නවීන තාක්ෂණික ක්‍රමවේදයන් මෙරටට හඳුන්වා දීමට පියවර ගන්නා බව හෙතෙම සඳහන් කළේය.

විශේෂයෙන්ම, රෝගවලට ඔරොත්තු දෙන සහ වේගවත් වර්ධනයක් සහිත උසස් තත්ත්වයේ මව් සතුන් (Broodstock) වියට්නාමයෙන් ආනයනය කිරීම හරහා දේශීය වගාකරුවන්ට උසස් තත්ත්වයේ මත්ස්‍ය හා ඉස්සන් පැටවුන් ලබා දීමට අපේක්ෂිතය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා මෙසේ ද පැවසීය. “වියට්නාමයේ ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා අප විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. එමගින් දේශීය ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ප්‍රාග්ධනය සහ තාක්ෂණික දැනුම පමණක් නොව, ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසීමේ දොරටු ද විවෘත වනවා. මෙය මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දිය හැකි ක්ෂේත්‍රයක්.”

මෙම සහයෝගීතාවය තුළින් වගාවේ ඵලදායිතාවය ඉහළ නැංවීමටත්, රෝග පාලනයටත් මෙන්ම ජාත්‍යන්තර වෙළඳපොළ ජයගත හැකි ගුණාත්මක නිෂ්පාදන බිහි කිරීමටත් මග පෑදෙනු ඇතැයි අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.

Share.
Leave A Reply