එමෙන්ම ධීවර විෂයට සම්බන්ධ පාඩු ලබන ආයතන, ලාභ ලබන ජාතික සම්පත් බවට පත් කිරීමට රජය පියවර ගන්නා බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
වසර ගණනාවක් පුරා සේවක භාරකාර අරමුදල ( EPF), සේවක විශ්වාස අරමුදල (ETF) සහ සේවා පරිත්‍යාග මුදල (Gratuity) සඳහා ගෙවීමට ඇති හිඟ මුදල් ගොඩගැසුණු ආයතනයක් ලෙස ලංකා ධීවර සංස්ථාව පැත්තකට තල්ලු කර තිබූ බවත්, එම ඓතිහාසික ණය පියවීම සඳහා ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ 2026 අයවැයෙන් සැලකිය යුතු මුදලක් වෙන් කර ඇති බවත් ඔහු කීය.
රජයේ නව වැඩපිළිවෙළ යටතේ මෙම ඓතිහාසික හිඟ මුදල් පියවා, සේවකයන්ගේ නීතිමය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ආයතන පද්ධති ස්ථායී කිරීම අරමුණු කරගත් පියවරක් ලෙස මෙම අයවැය ප්‍රතිපාදන වෙන් කර ඇති බවද හෙතෙම කීය.
මෙම පියවර මගින් සංස්ථාවට ඉදිරියට ගමන් කිරීම සඳහා ශක්තිමත් මාවතක් සකස් කර දී ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
දේශීය ධීවරයින්ට ස්ථාවර හා සාධාරණ වෙළෙඳපොළක් නිර්මාණය කිරීම, දැනට සියයට 1ක් පමණක් වන මත්ස්‍ය මිලදී ගැනීමේ වෙළෙඳපොළ කොටස ක්‍රමානුකූලව ප්රශස්ත මට්ටමක් දක්වා ඉහළ නැංවීම, නව ශීතාගාර විසඳුම් ක්‍රියාත්මක කිරීම සහ බෙදාහැරීමේ හා අලෙවි ජාලයන් විධිමත් කිරීම මෙම වැඩපිළිවෙළ යටතේ සිදු කරන බව ඔහු සඳහන් කළේය.
එසේම දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගත් උපායමාර්ගික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත්, භෞතික පිරිසිදුකමට අමතරව කාර්යක්ෂම මූල්‍ය හා මෙහෙයුම් කළමනාකරණයක් සඳහා ආයතනික සංස්කෘතියේ වෙනසක් ඇති කිරීමත් සිදු කරන බව ද රත්න ගමගේ මහතා වැඩිදුරටත් කීය.

