වසර ගණනාවක නිහඬතාව බිඳිමින් ශ්‍රී ලංකා තැපෑලෙන් වාර්තාගත පිබිදීමක්: 2025 ආදායම් ඉලක්කයත් ඉක්මවයි
කොළඹ – දීර්ඝ කාලයක් තිස්සේ මෙරට රාජ්‍ය පාලනයේ නිසි අවධානයට ලක් නොවී තිබූ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව, 2025 වර්ෂය තුළ සුවිශාල පිබිදීමක් අත්කර ගනිමින් මහා භාණ්ඩාගාරය ලබා දුන් ආදායම් ඉලක්ක ඉක්මවා යාමට සමත්ව තිබේ.
වත්මන් තැපැල්පති රුවන් සත්කුමාර මහතා ප්‍රකාශ කර සිටින්නේ, 2025 වර්ෂය සඳහා මහා භාණ්ඩාගාරය නියම කළ ආදායම් සීමාවන් පසුකර යමින් රුපියල් මිලියන 13,100 ක ආදායමක් උපයා ගැනීමට දෙපාර්තමේන්තුව සමත් වූ බවයි.
මානව සම්පත් සංවර්ධනය සහ නව බඳවා ගැනීම්
තැපැල් සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා පසුගිය වසරේදී සේවක හිඟයට පිළියම් රැසක් ලබා දී ඇත:
ස්ථීර පත්වීම්: 2020 වර්ෂයෙන් පසු ප්‍රථම වතාවට උප තැපැල් ස්ථානාධිපතිවරුන් 378 දෙනෙකු ස්ථීර කර ඇත.
තැපැල් සහයකයින්: 2022 වසරෙන් පසු පත්වීම් ලාභී තැපැල් සහයකයින් 1,000කගේ සේවය ස්ථීර කර ඇති අතර, තවත් 731 දෙනෙකු අලුතින් බඳවා ගැනීමට කටයුතු කර ඇත.
ඉදිරි බඳවා ගැනීම්: තැපැල් සේවා නිලධාරීන් 600ක් බඳවා ගැනීම සඳහා වන කටයුතු සම්පාදනය කර ඇති අතර, එම පත්වීම් එළඹෙන පෙබරවාරි මාසයේදී ලබා දීමට නියමිතය.
රියදුරු පත්වීම්: 2018 වසරෙන් පසු පළමු වරට තැපැල් රියදුරන් 40ක් සඳහා පත්වීම් ලබා දී තිබේ.
තාක්ෂණය සහ යටිතල පහසුකම් නවීකරණය
ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා නවීන තාක්ෂණික මෙවලම් රැසක් දෙපාර්තමේන්තුව සතු කර ගෙන ඇත. ඒ යටතේ පරිගණක 225ක්, ටැබ් පරිගණක 1,500ක් සහ මුද්‍රණ යන්ත්‍ර 530කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇත.
යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රජය රුපියල් මිලියන 600ක මුදලක් වෙන්කර ඇති අතර, දඹුල්ල ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානය ඇතුළු තැපැල් කාර්යාල 14ක වැඩ ආරම්භ කර ඇත. පොලොන්නරුව නව තැපැල් කාර්යාලය දැනටමත් ජනතා අයිතියට පත් කර තිබේ.
ප්‍රවාහන සේවයේ හරිත විප්ලවයක්
2018 වසරෙන් පසු වාහන මිලදී ගැනීමක් සිදු නොවූ තැපැල් දෙපාර්තමේන්තුවට නව ජීවයක් එක් කරමින් ප්‍රවාහන පද්ධතිය නවීකරණය කෙරේ:
නව විශාල ලොරි රථ 10ක් සහ කෘෘ කැබ් රථ 20ක් සේවයට එක් කෙරේ.
විද්‍යුත් වාහන: QSF අරමුදල යටතේ ඩොලර් 500,000ක වියදමින් විද්‍යුත් කාගෝ ත්‍රීරෝද රථ 20ක් සහ විද්‍යුත් යතුරුපැදි 165ක් මිලදී ගැනීමට පියවර ගෙන ඇත.
USPS ප්රදානය: ඇමරිකානු තැපැල් සේවය (USPS) මගින් ලබා දුන් ඩොලර් 100,000ක ප්‍රදානයකින් තවත් විද්‍යුත් කාගෝ ත්‍රීරෝද රථ 15ක් මිලදී ගැනීමට නියමිතය.
බලශක්ති සංරක්ෂණය
තිරසාර බලශක්ති භාවිතය ප්‍රවර්ධනය කරමින් තැපැල් මූලස්ථානය, මධ්‍යම තැපැල් හුවමාරුව, පොලොන්නරුව සහ මඩකලපුව තැපැල් සංකීර්ණ සූර්ය පැනල පද්ධති (Solar Panels) මගින් බල ගැන්වීමට ද පියවර ගෙන ඇති බව තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මගපෙන්වීම යටතේ මෙම සියලු සංවර්ධන කටයුතු ක්‍රියාත්මක වේ.
මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ
වාර්තාකරණය: K.Ajantha Kumara

