ලක්විජය බලාගාරයට ගෙන්වන ලද ගල්අඟුරු බාල බවට චෝදනා අසත්‍යයි – බලශක්ති අමාත්‍ය….
ලක්විජය ගල්අඟුරු බලාගාරය වෙත ගෙන්වන ලද ගල්අඟුරු නැව් තොගය බාල බවටත්, එමගින් රුපියල් කෝටි 1000ක පාඩුවක් සිදුව ඇති බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශයක් බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.
මෙම කරුණු සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ගල්අඟුරු සැපයුම්කරුවන් තෝරාගැනීම ජාත්‍යන්තර තරඟකාරී සීමිත ලංසු ක්‍රමවේදය යටතේ සිදුකර ඇති බවත්, ඒ සඳහා එකම ප්‍රමිතීන් අනුගමනය කරමින් මේ වනවිට සැපයුම්කරුවන් 20 දෙනෙකු ලියාපදිංචි කර ඇති බවත්ය.
කිසිදු සැපයුම්කරුවකුට වාසි ලබාදෙන ලෙස පිරිවිතර වෙනස් කර නොමැති බවද ඔහු අවධාරණය කළේය.
ගල්අඟුරු ප්‍රසම්පාදනයට අදාළව ලංසු කැඳවීමේ කාලය වෙනස් කිරීම ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ උපදෙස් මත සිදුකර ඇති අතර, මෙතෙක් වැඩිම ලංසුකරුවන් සංඛ්‍යාව වන දස දෙනෙකු ලංසු ඉදිරිපත් කර තිබීමෙන් එම වෙනස්කම ප්‍රසම්පාදන ක්‍රියාවලියට බලපා නොමැති බවද සඳහන් කර ඇත.
කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමෙන් පසු නියමිත දින 14ක කාලය තුළ සැපයුම්කරු විසින් කාර්ය සාධන බැඳුම්කරය තැන්පත් කර ඇති අතර, එහි කිසිදු ප්‍රමාදයක් සිදුව නැති බව ද අමාත්‍යවරයා පැවසීය.
ගිවිසුමට අනුව ගල්අඟුරු තත්ත්ව පරීක්ෂාව පැටවුම් වරායේ සහ ගොඩබෑම් වරායේ රසායනාගාර වාර්තා මත සිදුකෙරෙන බවත්, පැටවුම් වරායේ රසායනාගාර වාර්තාව අනුව මෙම ගල්අඟුරු තොගය ලක්විජය බලාගාරයට අවශ්‍ය ගුණාත්මක පරාසයන් තුළ පවතින බව තහවුරු කර ඇති බවත් ඔහු සඳහන් කළේ ය.
එසේ වුවද, ගොඩබෑම් වරායේ අවසාන රසායනාගාර වාර්තාව මෙතෙක් නිකුත් වී නොමැති බැවින්, ගල්අඟුරු ගුණාත්මය පිළිබඳ අවසන් තීරණයකට පැමිණිය නොහැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එම වාර්තාව 2026 ජනවාරි 16ට පෙර නිකුත් වීමට නියමිත බවත්, එය අනුව ගිවිසුමේ සඳහන් නීතිරීති අනුව ඉදිරි කටයුතු සිදුකරන බවත් ඔහු අවධාරණය කළේය.
අවසාන වශයෙන්, ගිවිසුමට අනුව නියමිත පරාසයන්ට පිටත ගුණාත්මයක් පවතින්නේ නම් දඩ මුදල් දෙගුණයකින් අයකරන බැවින්, රජයට මුල්‍ය පාඩුවක් සිදුවීමට ඉඩක් නොමැති බවද බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ ය.

