(සටහන නිමල් අල්ගෙවත්ත )
– යුක්තිය නොලැබුණු මාධ්‍ය සදාචාරයේ කළු පැල්ලම –
ලසන්ත වික්‍රමතුංග අපේ කාලයේ මාධ්‍ය සඟයෙකි.
ඔහු මරා දැමිය හැකි වුණත්, ඔහු ගෙනගිය මඟ මරා දමන්නට කිසිවකුට හැකිවූයේ නැහැ.
ලසන්තගේ මතකය, ඔහු වෙනුවෙන් යුක්තිය ඉල්ලා නැගී සිටින හඬ, අදටත් ජීවමානයි.
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘවරයෙකු වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හා නීතිඥ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට වසර 17ක් ගතවී තිබේ.
2009 ජනවාරි 8 වැනිදා උදෑසන, සිය සේවා ස්ථානය වෙත ගමන් කරමින් සිටියදී අත්තිඩිය ප්‍රදේශයේදී ආයුධ සන්නද්ධ පිරිසක් විසින් ඔහු නිරායුධව ඝාතනය කෙරුණි.
සූක්ෂම තොරතුරු හඹා යන ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වූ ලසන්ත, සිය පුවත්පත හරහා ආණ්ඩු බලයට විකල්ප මතයක් ගොඩනඟා ගැනීමට උත්සාහ කළ මාධ්‍ය නායකයෙකි.
එම ඝාතනය ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයට එක් වූ අඳුරුම සිදුවීම් අතරින් එකක් ලෙස සැලකෙයි.
ඝාතනයට පෙර පසුබිම
1994 වසරේ ආරම්භ කළ සන්ඩේ ලීඩර් පුවත්පත හරහා ලසන්ත වික්‍රමතුංග ආණ්ඩු වංචා, දූෂණ සහ බල අපයෝජන පිළිබඳ නොනවත්වා අනාවරණ සිදු කළේය.
2005 වසරේ “හෙල්පින් හම්බන්තොට” සුනාමි අරමුදල, 2007–2008 කාලයේ මිග් ගුවන් යානා ගනුදෙනුව වැනි සිදුවීම් එහි ප්‍රධාන වේ.
එම අනාවරණයන්ට පසු, 2007 නොවැම්බර් 21 දින ලීඩර් පබ්ලිකේෂන් මුද්‍රණාලය ගිනි තබා විනාශ කරනු ලැබීය.
2008 දෙසැම්බර් මාසයේදී සන්ඩේ ලීඩර් පුවත්පතට වාරණ නියෝගයක්ද නිකුත් විය.
2009 ජනවාරි 6 දින සිරස රූපවාහිනියට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ලසන්ත මාධ්‍ය නිදහස රැකගැනීම පිළිබඳ දැඩි ප්‍රකාශයක් සිදු කළේය.
එම ප්‍රකාශයෙන් දින දෙකකට පසුව ඔහු ඝාතනයට ලක්විය.
විමර්ශන – නඩු – අඳුරු සත්‍ය
වසර ගණනාවක් පුරා විමර්ශන, සැකකරුවන්, නඩු, දේහය නැවත ගොඩගැනීම් සිදු වුවද,
ඝාතනයට නියෝග දුන් අය සහ සැබෑ ඝාතකයින් තවමත් නීතිය ඉදිරියට නොගෙනැවිත් ඇත.
2017 වසරේ සිදු කළ නව මරණ පරීක්ෂණයෙන්
ලසන්තගේ මරණයට හේතු වූයේ වෙඩි තැබීමක් නොව, විශේෂ අවියකින් හිසට හා මොළයට එල්ල කළ දැඩි පහරක් බව හෙළි විය.
එමෙන්ම, පරීක්ෂණ නොමඟ යැවීමට සම්බන්ධව තවත් පුද්ගලයන් ඝාතනයට ලක්වූ බවටද විවිධ අනාවරණ සිදු විය.
මෙය සාමාන්‍ය අපරාධයකට වඩා ගැඹුරු, සංවිධානාත්මක ක්‍රියාවක් බව පැහැදිලි විය.
ජාත්‍යන්තර මට්ටමේ තීන්දුව
2021 වසරේ නෙදර්ලන්තයේ හේග් නුවර පැවති
The People’s Tribunal on the Murder of Journalists
විමර්ශනයේදී, ශ්‍රී ලංකා රජය ලසන්ත වික්‍රමතුංගගේ මරණයට වගකිව යුතු බවට තීරණය කෙරිණි.
එමඟින්
ජීවත්වීමේ අයිතිය
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය
දේශපාලන මතය මත වෙනස් කොට සැලකීමෙන් නිදහස් වීමට ඇති අයිතිය
බරපතල ලෙස උල්ලංඝනය වී ඇති බව විනිශ්චය සභාව අවධාරණය කළේය.
යුක්තිය ඉල්ලීම – රටක් ලෙස අපගේ වගකීම
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී දිල්රුක්ෂි හඳුන්නෙත්ති මහත්මිය පවසන්නේ,
ලසන්තට යුක්තිය ඉල්ලා සිටීම යනු එක් මාධ්‍යවේදියෙකු වෙනුවෙන් පමණක් නොව,
මේ රටේ මාධ්‍ය නිදහස, මිනිස් ජීවිතයේ වටිනාකම සහ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා වූ සටනක් බවයි.
අවසන් වශයෙන්
ලසන්ත වික්‍රමතුංග මරා දැමිය හැකි වුණත්,
ඔහු ගෙනගිය මඟ, ඔහු නියෝජනය කළ වටිනාකම්,
ඔහු වෙනුවෙන් යුක්තිය ඉල්ලන හඬ
කිසිදා මරා දැමිය නොහැක. ලසන්ත –ඔහු අපේ කාලයේ මාධ්‍ය සඟයෙකි.

