අමාත්‍යවරයා මේ බව පැවසුවේ (05) ජාතික පාරිසරික පනත සංශෝධනය පිළිබඳව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.
මෙම සංශෝධන සඳහා පසුගිය 29 වැනිදා රැස්වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති අතර, ඒ අනුව ගැසට් කිරීමෙන් අනතුරුව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ජාතික පාරිසරික පනත ක්‍රියාත්මක වන්නේ පරිසරය ආරක්ෂා කිරීමේ අරමුණෙන් බව ද හෙතෙම කීය.
තාක්ෂණයේ අලුත්කම්, පරිසර දූෂණයේ පවතින තත්ත්වයන් සහ ජන ජීවිතයේ සිදුවී ඇති වෙනස්වීම් සළකා බලමින් පනතට අවශ්‍ය නව කරුණු එකතු කරමින් මෙම සංශෝධන සිදු කර ඇති බව ද ඔහු පැවසීය.
මීට පෙර පනතට ඇතුළත් නොවූ පරිසර දූෂණය පාලනය කිරීම සඳහා අනිවාර්යයෙන්ම එකතු විය යුතු ක්ෂේත්‍ර රැසක් මෙවර සංශෝධන මඟින් පනතට එක් කර ඇති බවත්
ඇමතිවරයා කීය.
මෙහි දී විශේෂයෙන්ම රසායනික දූෂණය පාලනය කිරීම හා උපද්‍රවකාරී අපද්‍රව්‍ය බැහැර කිරීම පාලනය කිරීම සඳහා නව ප්‍රතිපාදන හඳුන්වා දී ඇති බව ද ඔහු කීය.
භූගත ජල දූෂණය සහ ශබ්ද දූෂණය වැළැක්වීම සඳහා අවශ්‍ය නව ප්‍රතිපාදන රැසක්ද පනතට එක් කර ඇති බවත්, පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගැනීමේ දී මෙතෙක් පවතින ක්‍රමවේදයන්ට අමතරව උපායමාර්ගික පාරිසරික ඇගයීම් ක්‍රමවේදය හඳුන්වාදීමට අදාළ සංශෝධනද ඇතුළත් කර ඇති බව ද හෙතෙම කීය.
ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වන පරිදි පරිසර දූෂණයට හේතු වන ද්‍රව්‍ය නිෂ්පාදනය කරන නිෂ්පාදකයා ඒ සඳහා වගකිය යුතුය යන සංකල්පයද මෙම පනතට ඇතුළත් කර ඇති බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේ ය.
තෙත්බිම් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය කළමනාකරණ ප්‍රතිපාදන, පාරිසරික ආරක්ෂණ ප්‍රදේශ කළමනාකරණය පුළුල් කිරීමට අදාළ නව සංශෝධන, ජල දූෂණය වැළැක්වීම සඳහා ප්‍රතිපාදන සහ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පුළුල් බලතල ද මෙම සංශෝධන මඟින් පනතට එක් කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
මෙම පනත් සංශෝධනය සඳහා විවිධ ක්ෂේත්රවල නියෝජිතයන් රැසක් මැදිහත් වූ බවත්, ඒ ඒ ක්ෂේත්රවලට මෙය බලපාන බැවින් ඔවුන් දැනුවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු ද සිදු කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීම මෙහිදී සිදු කරන බවද ඔහු කීය.
පනත සංශෝධනය කිරීම තුළින් වර්තමාන පාරිසරික අභියෝග හමුවේ නීතිමය ශක්තිමත් කිරීමක් සිදු කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කෙරිණි. පරිසර ආරක්ෂාව, නියාමන ක්‍රියාවලීන් සහ පරිසර කළමනාකරණය වඩාත් ප්‍රායෝගික ලෙස ක්‍රියාත්මක කිරීම මෙම සංශෝධනවල ප්‍රධාන අරමුණ බව සඳහන් කෙරිණි.
මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පරිසර ප්‍රතිපත්ති සහ සැලසුම්) පද්මා අවබ්කෝන් මහත්මිය, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය නිලක් හේවාසේ මහතා, අධ්යක්ෂ ජනරාල් කපිල මොහොට්ටි රාජපක්ෂ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

