
ජනතා අභිලාෂයන් ඉටුකරමින් කම්කරු අමාත්‍යාංශය නව වසරේ රාජකාරි අරඹයි
කොළඹ: 2026 නව වසරේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය කම්කරු අමාත්‍ය වෛද්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) දින පෙරවරුවේ පැවැත්විණි.
නාරාහේන්පිට පිහිටි කම්කරු මහ ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණු මෙම උත්සවය ආරම්භ වූයේ ජාතික ධජය එසවීම සහ ජාතික ගීය ගැයීමෙනි. අනතුරුව මාතෘභූමිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ විරුවන් ඇතුළු සියලු පුරවැසියන් සිහිපත් කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලැබීය.
ආර්ථිකය ස්ථාවර මාවතකට – අමාත්‍ය වෛද්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
මෙහිදී සභාව ඇමතූ කම්කරු අමාත්‍ය වෛද්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අවධාරණය කළේ කුමන අභියෝග මධ්‍යයේ වුවද රට සංවර්ධනය කරා මෙහෙයවීමට රජය කැපවී සිටින බවයි.
“පසුගිය වසර පුරා අප රජයට ලැබුණු බලය ජනතාවගේ සුභසාධනය වෙනුවෙන්ම යෙදවීමට කටයුතු කළා. රාජ්‍ය මූල්‍ය විනය ශක්තිමත් කරමින් ආර්ථිකය ස්ථාවර මට්ටමකට ඔසවා තැබීමට අපට හැකි වුණා. මෙම ජයග්‍රහණ දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද අද පිළිගැනීමට ලක්ව තිබෙනවා,” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එක්සත් ජාතියක් ලෙස අභියෝග ජය ගැනීම – නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ
නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියේ ජාතියක් ලෙස එක්සත්ව සිටින්නේ නම් ඕනෑම අභියෝගයක් ජයගත හැකි බවයි.
විශේෂයෙන්ම “දිට්වා” (Ditwa) සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය සාර්ථකව කළමනාකරණය කිරීම ඊට කදිම නිදසුනක් බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ සඳහා ලබා දුන් දේශපාලන නායකත්වය අතිශය වැදගත් වූ බවත් ඔහු පෙන්වා දුන්නේය. රටේ ප්‍රගතිය සඳහා ජනතාවගේ ආකල්පමය සංවර්ධනය ඉතා වැදගත් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
නවීකරණය වූ කාර්යාල පද්ධතියක් ජනතා අයිතියට
මෙම අවස්ථාවට සමගාමීව, නාරාහේන්පිට කම්කරු මහ ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණය කරන ලද නව මහලක පිහිටි කම්කරු කාර්යාල කිහිපයක් ද නිල වශයෙන් විවෘත කෙරිණි.
ඒ අනුව, බස්නාහිර කලාපය–01 කලාපීය කම්කරු කාර්යාලය මෙන්ම මධ්‍යම කොළඹ, දකුණු කොළඹ, නැගෙනහිර කොළඹ සහ උතුරු කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාල මෙලෙස නවීන පහසුකම් සහිතව විවෘත විය.
මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. පියතිස්ස මහතා, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මහත්මිය ඇතුළු නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.
වාර්තාකරණය: මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න මාධ්‍යවේදී යොහාන් රසිඳු
ඕනෑම අයකුට 2026 ජනවාරි මස 20 දිනට පෙර ඔබගේ අයදුම්පත පිරවීමට හැක
සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව! ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන(Certificate in Introductory Media Communication Ethics) https://newsandimage.org/media-studies-training/
News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.

