සහස්යා ආයෝජන සමාගම ඈවර කිරීම
පවතින අධිවේගී මාර්ග පද්ධතිය නඩත්තු කිරීම, ඒවා තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා උපායමාර්ගික ක්‍රම තීරණය කිරීම සහ පිරිවැය අවම කිරීම උදෙසා නවීන තාක්ෂණයන් භාවිත කිරීම ආදී අරමුණු සහිතව සහස්යා ආයෝජන සමාගම පිහිටුවීම සඳහා 2020-10-12 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, අදාළ අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් සහ කළමනාකරණය සහස්යා ආයෝජන සමාගම වෙත පැවරීම කළමනාකරණ ගිවිසුමක් මඟින් විධිමත් පරිදි සිදු කිරීම පිණිස 2024-03-25 දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.
එහෙත්, මේ වන තෙක් සහස්යා ආයෝජන සමාගමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර නොමැති අතර, සමාගම සංස්ථාපනය කළ දින සිට එහි අරමුණු හා අනුකූල වන කිසිදු ක්‍රියාකාරකමක් ද සිදු කර නොමැත. ජාතික මාර්ග සහ අධිවේගී මාර්ග සැලසුම් කිරීම, නිර්මාණය කිරීම, ඉදි කිරීම සහ නඩත්තු කිරීම ආදී කටයුතු 1981 අංක 73 දරන මාර්ග සංවර්ධන අධිකාරිය පනත මඟින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පවරා ඇති අතර, එම වත්කම් කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික විශේෂඥතාව, ආයතනික හැකියාව සහ දිගුකාලීන වත්කම් කළමනාකරණ දැක්මක් එම ආයතනය සතුව පවතින බැවින්, අදාළ වත්කම්වල අයිතිය හෝ පාලනය සහස්යා ආයෝජන සමාගමට පැවරීම මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලබා දී ඇති නීතිමය අධිකාරිත්වය ඉක්මවා යාමක් විය හැකි බව හඳුනාගනු ලැබ ඇත. එබැවින්, එම කරුණු සැලකිල්ලට ගෙන, සහස්යා ආයෝජන සමාගම ඈවර කිරීමටත්, අධිවේගී මාර්ග ජාලය, ඒ ආශ්‍රිත ඉඩම් සහ ඊට අදාළ අනෙකුත් කාර්යයන් මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ වෙනම මෙහෙයුම් ඒකකයක් මඟින් කළමනාකරණය කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා සහ ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඊශ්‍රායල් රාජ්‍යයේ තාවකාලික සේවයේ නියුක්ත කරවීම
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඊශ්‍රායල් රාජ්‍යයේ නිශ්චිත ශ්‍රම වෙළෙඳපොළ අංශයන්හි තාවකාලිකව සේවයේ නියුක්ත කරවීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඊශ්‍රායල් රජය අතර ගිවිසුමක් අත්සන් කිරීම පිණිස 2020-02-05 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, ගෘහස්ථ රැකවරණ; කෘෂිකර්මය; ඉදිකිරීම්; හෝටල්, ගෘහ පාලනය සහ පිරිසිදු කිරීමේ සේවා; නිෂ්පාදන සහ ආපන ශාලා යන අංශයන්හි රැකියා සඳහා බඳවා ගැනීමට අදාළ ක්‍රියාත්මක කිරීමේ සැලසුම්වලට (A, B, C, D, E හා F ප්‍රොටොකෝල) වරින් වර අත්සන් තබා ඇත. එම ගිවිසුම යටතේ ඊශ්‍රායලයේ වාණිජ හා සේවා අංශයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීමට ඊශ්‍රායල් රාජ්‍යය නිල වශයෙන් කැමැත්ත ප්‍රකාශ කර තිබේ. ඒ අනුව, එම අංශයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සේවයේ යෙදවීමට හැකි වන පරිදි දෙපාර්ශ්වය අතර දැනටමත් අත්සන් තබා ඇති ගිවිසුම යටතේ ‘G’ ප්‍රොටොකෝලය අත්සන් තැබීම පිණිස ගනු ලැබ ඇති පියවර සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදුව, එලෙස ගනු ලැබ ඇති පියවර සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.
ශ්‍රී ලංකා කර්මාන්ත පරිවර්තන සහ නවෝත්පාදන අධිකාරිය පිහිටුවීම
වඩාත් සංවිධිත හා කාර්යක්ෂම ආකාරයෙන් කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන සේවා සැපයීම සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින කාර්මික සංවර්ධන මණ්ඩලය, ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ඒකාබද්ධ කර, වඩාත් බලාත්මක තනි ආයතනයක් ස්ථාපිත කිරීම පිණිස 2025-03-17 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, එකම කාර්යය පුනර්වර්තීකරණය අවම කිරීම, ආයතනික සේවා සැපයීම ශක්තිමත් කිරීම මෙන්ම කාර්මීකරණ පරිවර්තනය, ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය හා අපනයනාභිමුඛ ව්‍යවසාය සංවර්ධනය සඳහා ජාතික ඒකාබද්ධ වේදිකාවක් ගොඩනැගීමේ අරමුණින් ශ්‍රී ලංකා කර්මාන්ත පරිවර්තන සහ නවෝත්පාදන අධිකාරිය ස්ථාපිත කිරීම, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් සංකල්පීකරණය, උපායමාර්ගික සැලසුම්කරණය හා ක්‍රියාත්මක වීම යන තුන් අදියර රාමුවක් යටතේ ආරම්භ කර තිබේ. ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති පාදක ණය වැඩසටහන යටතේ අවශ්‍ය තාක්ෂණික සහාය ලබා ගැනීමට ද මේ වන විට කටයුතු කරමින් පවතී. ඒ අනුව, යෝජිත ‘ශ්‍රී ලංකා කර්මාන්ත පරිවර්තන සහ නවෝත්පාදන අධිකාරිය’ සම්බන්ධයෙන් වන සංකල්ප රාමු කෙටුම්පත අනුව ඉදිරි කටයුතු කිරීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ඉන්දුනීසියාවේ ජාතික සෙවීම් සහ මුදවා ගැනීම් කටයුතු පිළිබඳ නියෝජිතායතනය සහ ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන්සේවා අධිකාරිය අතර සෙවීම් හා මුදවා ගැනීම් කටයුතු වල සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම අලුත් කිරීම
මෙරටට වෙන් කර ඇති වර්ග නාවික සැතපුම් 625,000 ක් වූ ගුවන් අවකාශය තුළ ආපදාවකට ලක් වන යම් ගුවන් යානාවකට හෝ නැවකට සහාය වීම සඳහා සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුම් සැපයීම, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ චිකාගෝ සම්මුතිය සඳහා අත්සන් තැබූ රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව වෙත පැවරී ඇති වගකීමක් වේ. සෙවීම් හා මුදවා ගැනීම් විෂයට අදාළ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ (ICAO) සම්මුතියේ සඳහන් පරිදි සම්මත හා නිර්දේශිත පරිචයන්ට අනුකූලව සෙවීම් හා මුදවා ගැනීම් කටයුතු වල සහයෝගිතාව හා සම්බන්ධීකරණය සවිමත් කිරීම සඳහා අසල්වැසි රාජ්‍යයන් සමඟ ගිවිසුම්වලට එළඹීමේ හැකියාව අදාළ රාජ්‍යයට පවතී. ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව, කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපයේ ගිනිකොණ දිග සීමාව හවුලේ භාවිත කරන අසල්වැසි රාජ්‍යයන් වන බැවින්, ඒ අනුව ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන්සේවා අධිකාරිය හා ඉන්දුනීසියාවේ ජාතික සිවිල් සහ මුදවා ගැනීමේ නියෝජිතායතනය අතර සෙවීම් හා මුදවා ගැනීම් කටයුතු වල සහයෝගිතාව සම්බන්ධයෙන් වසර 05 ක කාලසීමාවක් සඳහා අවබෝධතා ගිවිසුමකට 2018-01-24 වන දින අත්සන් තබා ඇත. එකී අවබෝධතා ගිවිසුමේ බලාත්මක කාලය දීර්ඝ කිරීම පිණිස 2023-02-13 දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇති නමුත්, ඒ අනුව අදාළ ගිවිසුමට මෙතෙක් අත්සන් තැබීමට හැකි වී නොමැත. එම කරුණ සැලකිල්ලට ගෙන, 2025 වර්ෂයෙන් ආරම්භ වන වසර 05 ක කාල සීමාවක් වෙනුවෙන් එකී අවබෝධතා ගිවිසුම නැවත අලුත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
රාමසාන් උපවාස සමයේ නොමිලයේ බෙදා හැරීම සඳහා ගෙන්වනු ලබන රට ඉඳි සඳහා බදු සහන ලබා දීම
රාමසාන් උපවාස සමයේදී ඉස්ලාම් බැතිමතුන් විසින් විශේෂයෙන් ආහාරයට ගනු ලබන රට ඉඳි, ඔවුන්හට නොමිලයේ බෙදා හැරීම සඳහා වාර්ෂිකව රාජ්‍යතාන්ත්‍රිකව, සංවිධාන මට්ටමෙන් සහ පුද්ගල මට්ටමින් පරිත්‍යාග හෝ ත්‍යාග වශයෙන් ලබාදෙනු ලබන අතර, ඒවා විදේශ විනිමය වැය නොවන පදනමින් මෙරටට ආනයනය කළ යුතුව ඇත. මෙවර රාමසාන් උපවාස සමය 2026-02-19 වන දින ආරම්භ වී 2026-03-21 වන දිනෙන් අවසන් වීමට නියමිතව ඇත. ඒ අනුව, රාමසාන් උත්සව සමය තුළ පරිත්‍යාග සහ ත්‍යාග වශයෙන් මෙරටට ආනයනය කරනු ලබන රට ඉඳි සඳහා බදු සහනයක් ලබා දීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
වතු ආශ්‍රිතව තෝරාගත් පාසල් වල ගුරු නිවාස ඉදිකිරීම
මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර, දකුණ සහ වයඹ යන පළාත්වල තේ සහ රබර් වතු ආශ්‍රිතව පාසල් 864 ක් පිහිටුවා තිබේ. එම පාසල් වලින් බහුතරයක් ප්‍රධාන නගර වලින් දුරස්ථව වතුකරයේ අභ්‍යන්තර ප්‍රදේශ වල පිහිටා ඇති බැවින්, විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට එම පාසල් සඳහා ප්‍රවේශ වීම අපහසු වී ඇත. එම පාසල් වල ද්විතීයික පන්තිවල පවතින ගුරු හිඟය හේතුවෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ වැනි ජාතික විභාග වලදී එකී පාසල්වල සමස්ත කාර්ය සාධනය අනෙකුත් රජයේ පාසල් හා සසඳන විට පහළ මට්ටමක පවතින බව පෙන්වා දී තිබේ. එම තත්ත්වය බොහෝ විට තරුණ පරපුර නුපුහුණු ශ්‍රමිකයන් ලෙස සීමා වීමට හේතු වී ඇත. එබැවින්, වතු ආශ්‍රිත පාසල්වල මානව හා භෞතික සම්පත් ඉහළ නැංවීම අත්‍යවශ්‍ය කරුණක් වී තිබේ. ඒ අනුව, ගුරු හිඟය අවම කරමින් එම පාසල් වල මානව සම්පත ඉහළ නැංවීමට හැකි වන පරිදි එම පළාත්වල වතු ආශ්‍රිතව තෝරාගත් ගුරු නිවාස අත්‍යවශ්‍යව පවතින පාසල් 14ක ගුරු නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් අදාළ පළාත් සභා හරහා ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ දේශීය නිෂ්පාදකයින් වෙතින් අත්‍යවශ්‍ය ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයීම් ප්‍රසම්පාදනය
2026 වර්ෂය සඳහා දේශීය නිෂ්පාදකයින්ගෙන් ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයීම් මිල දී ගැනීමට අභිලාෂ ප්‍රකාශ කිරීම්/ යෝජනා සඳහා ඉල්ලීම් කැඳවීම සඳහා 2025-07-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඊට ප්‍රතිචාර වශයෙන් ආයතන 48 ක් වෙතින් අයදුම්පත් ලැබී තිබේ. ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව වෙතින් සහ දේශීය නිෂ්පාදකයින් වෙතින් ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයීම් මිල දී ගැනීම් සඳහා වන ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළෙහි පිටවීමේ පර්යන්තය සඳහා ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු සවි කිරීම
සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය හා ජපාන රජය අතර එළඹ ඇති සහයෝගිතා ගිවිසුම අනුව, යෙන් මිලියන 1,170ක ජපන් ආධාර මත ‘නිරිත දිග ආසියාවේ රටවල් වලට දේශ සීමා ආශ්‍රිත බෝවන රෝග පාලනය සඳහා පෙර සූදානම’ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පහසුකම් ජාත්‍යන්තර භාවිතයන්ට අනුව වැඩිදියුණු කිරීමේ කටයුතු 2023 වර්ෂයේ සිට ආරම්භ කර ඇත. ඒ යටතේ ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 04ක් සවි කිරීමේ කටයුතු අවසන් කර ඇති අතර, නුදුරේදීම එකී ගේට්ටු මඟින් මගී නිෂ්කාශන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. පැමිණීමේ පර්යන්තයේ සවි කරනු ලැබ ඇති ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 04ට සමගාමීව පිටවීමේ පර්යන්තයේ ද ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 04ක් සවි කිරීම තුළින් එකම ක්‍රමවේදයක් අනුව වඩාත් කාර්යක්ෂමව හා නිවැරදිව මගී නිෂ්කාශන කටයුතු ඉටු කර ගැනීමට හැකියාව පවතී. ඒ අනුව, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පිටවීමේ පර්යන්තයේ ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 04ක් සවි කිරීමේ කටයුතු 2026 වර්ෂය තුළ සිදු කිරීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීම
ශ්‍රී ලංකාවේ පරිසරය ආරක්ෂා කිරීම, කළමනාකරණය කිරීම සහ ඊට සම්බන්ධ අනුෂාංගික කරුණු සම්බන්ධයෙන් 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත මඟින් අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සලසා ඇත. වර්තමානයේදී පරිසරය සම්බන්ධයෙන් පැනනැගී ඇති නෛතික හා ආයතනික ගැටලු වලට ප්‍රතිපත්තිමය විසඳුම් සෙවීමේදී එකී පනතේ ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවත්, එම පනත සංශෝධනය කළ යුතු බවත් හඳුනාගනු ලැබ ඇත. එබැවින්, ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීම පිණිස 2025-08-04 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති ජාතික පාරිසරික (සංශෝධිත) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා පත් කිරීම
දැනට පුරප්පාඩුව පවතින ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට සුදුසු අයෙකු බඳවා ගැනීම පිණිස අයදුම්පත් කැඳවා ඇති අතර, අදාළ සම්මුඛ පරීක්ෂණ සඳහා අයදුම්කරුවන් 06 දෙනෙකු සහභාගි වී ඇත. ඒ අතරින් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය විසින් නිර්දේශ කරනු ලැබ ඇති මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස්වරයකු ලෙස දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි එස්. අච්චුදන් මහතා 2026-01-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි එකී තනතුරට පත් කිරීම පිණිස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
රට තුළ ව්‍යාපාරික අංශය කඩිනමින් යථාවත් කිරීම සඳහා ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූ ව්‍යවසායයන් සඳහා ලබා දෙන මූල්‍ය සහන ඉහළ නැංවීම
ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ‘RE – MSME – ආපදා සහන ‘ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස 2025-12-10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූ ව්‍යවසායයන්ට මාස හයක සහන කාලයක් සහිතව වසර තුනකින් ගෙවීම සඳහා ක්ෂුද්‍ර ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් 250,000 ක් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් මිලියන 01ක් දක්වා වාර්ෂිකව 3%ක පොලී අනුපාතයක් යටතේ ලංකා බැංකුව, මහජන බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකු මඟින් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා එකී ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. ආපදාවෙන් බලපෑමට ලක් වී ඇති මහා පරිමාණ ව්‍යවසායයන් ඇතුළු සියලුම ව්‍යවසායයන් වෙත ප්‍රතිලාභ ලබා දීමට හැකි වන පරිදි සහ පෞද්ගලික බැංකු ද දායක කර ගනිමින් එකී ණය යෝජනා ක්‍රමය වැඩි දුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූ සියලු ව්‍යවසායයන්ට මාස 06ක සහන කාලයක් සහිතව වසර 03 කින් ගෙවීම සඳහා ක්ෂුද්‍ර ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් 250,000ක්, සුළු පරිමාණ ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් මිලියන 01 ක් සහ මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් මිලියන 25 ක් දක්වා වාර්ෂිකව 3% ක පොලී අනුපාතයක් යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු මඟින් කාරක ප්‍රාග්ධන ණය පහසුකම් ලබා ගැනීමට හැකි වන පරිදි ‘විස්තීරණ ආපදා සහන ණය යෝජනා ක්‍රමය’ නමින් ණය යෝජනා ක්‍රමයක් සැලසුම් කර ඇති අතර, ඒ සඳහා රුපියල් බිලියන 5ක ප්‍රතිපාදන වෙන් කිරීමට අපේක්ෂා කෙරේ. එකී ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
අභාවප්‍රාප්ත කලා සුරි ලතා වල්පොල මහත්මියගේ අවමංගල්‍ය උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීම
‘හෙළයේ ගීත කෝකිලාවිය ‘ යන විරුදාවලිය ලත් අභාවප්‍රාප්ත කලා සූරී ලතා වල්පොල මහත්මිය සිංහල සිනමාව හා හෙළ ගීත ක්ෂේත්‍රය වෙනුවෙන් කළ මෙහෙවර සැලකිල්ලට ගනිමින්, එතුමියගේ අවමංගල්‍ය උත්සවය 2025-12-31 දින පුර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා; සහ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
@ ප්‍රධාන අමාත්‍ය මණ්ඩල තීරණ – සාරාංශය
සහස්යා ආයෝජන සමාගම ඈවර කිරීම
අධිවේගී මාර්ග කළමනාකරණය සඳහා පිහිටුවූ සහස්යා ආයෝජන සමාගම ක්‍රියාත්මක නොවූ බැවින් ඈවර කිරීමට තීරණය කළා.
අධිවේගී මාර්ග ජාලය හා ඒ ආශ්‍රිත වත්කම් මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ වෙනම මෙහෙයුම් ඒකකයක් මඟින් කළමනාකරණය කරනු ඇත.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඊශ්‍රායලයට යැවීම
ඊශ්‍රායලයේ වාණිජ හා සේවා අංශ සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීමට ‘G’ ප්‍රොටොකෝලය අත්සන් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල එකඟතාව ලබා දුන්නා.
ශ්‍රී ලංකා කර්මාන්ත පරිවර්තන සහ නවෝත්පාදන අධිකාරිය පිහිටුවීම
කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන ආයතන කිහිපයක් ඒකාබද්ධ කර නව ජාතික අධිකාරියක් ස්ථාපිත කිරීමට අනුමැතිය.
ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහායද ලබා ගැනේ.
ශ්‍රී ලංකා – ඉන්දුනීසියා සෙවීම් හා මුදවා ගැනීම් MOU අලුත් කිරීම
ගුවන් හා නාවික ආපදා සඳහා වසර 05ක නව අවබෝධතා ගිවිසුමක් නැවත අලුත් කිරීමට අනුමැතිය.
රාමසාන් සමය සඳහා රට ඉඳි බදු සහන
2026 රාමසාන් සමයේ නොමිලේ බෙදාහැරීමට ආනයනය කරන රට ඉඳි සඳහා බදු සහන ලබාදීමට තීරණය.
වතු ආශ්‍රිත පාසල් සඳහා ගුරු නිවාස
පළාත් 06ක වතු ආශ්‍රිත පාසල් 14කට ගුරු නිවාස ඉදිකිරීම අනුමත කළා.
දේශීය ඖෂධ ප්‍රසම්පාදනය
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ දේශීය නිෂ්පාදකයින්ගෙන් 2026 සඳහා ඖෂධ හා වෛද්‍ය සැපයීම් මිලදී ගැනීමට අනුමැතිය.
කටුනායක ගුවන්තොටුපොළේ ස්වයංක්‍රීය ගේට්ටු
පිටවීමේ පර්යන්තයටද ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 04ක් 2026දී සවි කිරීමට තීරණය.
ජාතික පාරිසරික පනත සංශෝධනය
සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් කිරීම හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පත් කිරීම
එස්. අච්චුදන් මහතා 2026-01-01 සිට අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කිරීමට අනුමැතිය.
ආපදා සහන ණය යෝජනා ක්‍රමය පුළුල් කිරීම
සියලු ව්‍යවසායයන් (ක්ෂුද්‍ර සිට මහා පරිමාණ දක්වා) සඳහා 3% පොලියට, රු. මිලියන 25 දක්වා ණය ලබාදෙන නව “විස්තීරණ ආපදා සහන ණය යෝජනා ක්‍රමය” අනුමතයි.
රු. බිලියන 5ක් වෙන් කිරීමට නියමිතය.
කලා සූරී ලතා වල්පොල මහත්මියගේ අවමංගල්‍යය 2025-12-31 දින පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට අනුමැතිය.
සහස්යා ආයෝජන සමාගම ඈවර කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
අධිවේගී මාර්ග පද්ධතිය නඩත්තු කිරීම හා සංවර්ධනය කිරීමේ අරමුණින් පිහිටුවන ලද සහස්යා ආයෝජන සමාගම ඈවර කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
2020 ඔක්තෝබර් 12 දින අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් ස්ථාපිත කළ එම සමාගම මේ දක්වා කිසිදු මෙහෙයුම් ක්‍රියාකාරකමක් ආරම්භ කර නොතිබීමත්, එහි අරමුණු අනුව ක්‍රියාත්මක වීම සිදු නොවීමත් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
1981 අංක 73 දරන මාර්ග සංවර්ධන අධිකාරිය පනත අනුව ජාතික මාර්ග හා අධිවේගී මාර්ග සැලසුම් කිරීම, ඉදිකිරීම හා නඩත්තු කිරීම මාර්ග සංවර්ධන අධිකාරියට පැවරී ඇති අතර, අදාළ වත්කම් වෙනත් ආයතනයකට පැවරීම නීතිමය ගැටලු මතු කරනු ඇතැයි හඳුනාගෙන ඇත.
ඒ අනුව, අධිවේගී මාර්ග ජාලය, ඒ ආශ්‍රිත ඉඩම් හා අනෙකුත් කාර්යයන් මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ වෙනම මෙහෙයුම් ඒකකයක් මඟින් කළමනාකරණය කිරීමටත්, සහස්යා ආයෝජන සමාගම ඈවර කිරීමටත් අමාත්‍ය මණ්ඩලය එකඟ විය.
ඊශ්‍රායලයේ සේවා අංශ සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් – ‘G’ ප්‍රොටොකෝලයට අනුමැතිය
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඊශ්‍රායල් රාජ්‍යයේ වාණිජ හා සේවා අංශයේ රැකියා සඳහා යොමු කිරීම සඳහා ‘G’ ප්‍රොටොකෝලය අත්සන් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දී ඇත.
ශ්‍රී ලංකා හා ඊශ්‍රායල් රජයන් අතර 2020 වසරේ අත්සන් කළ ගිවිසුම යටතේ ගෘහස්ථ රැකවරණ, කෘෂිකර්මය, ඉදිකිරීම්, හෝටල් හා සේවා අංශ සඳහා දැනටමත් ප්‍රොටොකෝල කිහිපයකට අත්සන් තබා ඇත.
ශ්‍රී ලංකා කර්මාන්ත පරිවර්තන සහ නවෝත්පාදන අධිකාරිය පිහිටුවීමට අනුමැතිය
කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන ක්ෂේත්‍රය වඩාත් කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා කර්මාන්ත පරිවර්තන සහ නවෝත්පාදන අධිකාරිය පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලය, ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ඒකාබද්ධ කිරීමට නියමිතය.
ඉන්දුනීසියාව සමඟ සෙවීම් හා මුදවා ගැනීම් ගිවිසුම නැවත අලුත් කරයි
ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර සෙවීම් හා මුදවා ගැනීම් කටයුතු සඳහා වූ අවබෝධතා ගිවිසුම වසර පහක කාලයක් සඳහා නැවත අලුත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
රාමසාන් සමය සඳහා රට ඉඳි බදු සහන
2026 වසරේ රාමසාන් උපවාස සමය තුළ නොමිලේ බෙදා හැරීම සඳහා පරිත්‍යාග වශයෙන් ආනයනය කරන රට ඉඳි සඳහා බදු සහන ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.
වතු පාසල් 14කට ගුරු නිවාස
වතුකරයේ පිහිටි පාසල්වල ගුරු හිඟය අවම කිරීමේ අරමුණින් පළාත් 06ක පාසල් 14කට ගුරු නිවාස ඉදිකිරීමට අනුමැතිය හිමිව තිබේ.
කලා සූරී ලතා වල්පොල මහත්මියට රාජ්‍ය ගෞරව
‘හෙළයේ ගීත කෝකිලාවිය’ ලෙස ජනප්‍රිය වූ අභාවප්‍රාප්ත කලා සූරී ලතා වල්පොල මහත්මියගේ අවමංගල්‍ය උත්සවය 2025 දෙසැම්බර් 31 දින පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

