කොළඹ: ශ්‍රී ලංකාවේ කාලගුණයට බලපාන නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (දෙසැම්බර් 16) දිනයේදීත් තද වැසි සහ තද සුළං තත්ත්වයන් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විශේෂ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව එම අනාවැකියේ සඳහන් වේ.

ගොඩබිම කාලගුණ තත්ත්වය:
තද වැසි අවදානම: උතුරු සහ නැගෙනහිර පළාත්වලත්, පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කරයි.

වෙනත් ප්‍රදේශ: දිවයිනේ සෙසු ප්‍රදේශවලටද පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී.

සුළං තත්ත්වය: මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර 30 ත් 40 ත් අතර තරමක තද සුළං විටින් විට අපේක්ෂා කෙරේ.

මීදුම් සහිත තත්ත්වය: සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව දන්වා ඇත.

මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වය:
දැඩි සුළං: පුත්තලම හරහා කාංකසන්තුරය දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50-55 දක්වා ඉහළ යා හැකිය.

මුහුදේ ස්වභාවය: එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර, දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වනු ඇත. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව ඉතා රළු විය හැකි බවට අනතුරු අඟවයි.

මහජනතාවට උපදෙස්:
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී. දින කිහිපයකට පෙර රටට බලපෑ “දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් තවමත් ප්‍රදේශ රැසක ජන ජීවිතය අඩාල වී ඇති බැවින්, ජනතාව වැඩි අවධානයෙන් කටයුතු කිරීම වැදගත් වේ.

journalist Nuwan Prasanna Sumanarathna with journalist Yohan Rasindu Uthpala

Share.
Leave A Reply