(01) පාඨලී චම්පික රණවක – රිට් පෙත්සම
රිය අනතුරක් සම්බන්ධයෙන් තමන්ට එරෙහිව මහාධිකරණයේ ගොනු කර ඇති අධිචෝදනා බල රහිත කරන ලෙස හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ගොනු කළ රිට් පෙත්සම ජනවාරි 22 දින නැවත කැඳවීමට අභියාචනාධිකරණය නියම කළේය.
(02) ඩයනා ගමගේ නඩුව – ඕෂල හේරත්ගේ සාක්ෂි
ඩයනා ගමගේට එරෙහිව CID වෙත පැමිණිල්ලක් කළේ දේශපාලන අරමුණකින් නොවන බව ඕෂල හේරත් අධිකරණයට දැනුම් දුන්නේය. වලංගු වීසා නොමැතිව රැඳී සිටීම ඇතුළු චෝදනා 7කට ඇය නිවැරදිකාරිය බව ප්‍රකාශ කර ඇති අතර නඩුවේ වැඩිදුර විභාගය පෙබරවාරි 16ට නියමිතය.
(03) ගාල්ල මහ නගර සභා අයවැය පරාජය
ගාල්ල මහ නගර සභාවේ 2026 අයවැය වැඩි චන්ද දෙකකින් පරාජයට පත්විය. පාලක ජාතික ජනබලවේගය පක්ෂය අයවැයට පක්ෂ වුවද විපක්ෂ පක්ෂ එකතුව විරුද්ධව චන්දය දුන්නේය.
(04) කසල තේ ප්‍රවාහනය – රියදුරු අත්අඩංගුවට
බලපත්‍රයක් නොමැතිව කසල තේ කොළ කිලෝ 5379ක් ප්‍රවාහනය කළ ලොරි රථයක් සමඟ රියදුරු තලවකැලේ STF විසින් අත්අඩංගුවට ගෙන පුඩළුඔය පොලිසියට භාර දී ඇත.
(05) කොසු මිටකින් පහරදී මරණයක්
බුත්තල ප්‍රදේශයේ පුද්ගලයෙකු කොසු මිටකින් පහරදීමෙන් තුවාල ලබා රෝහල්ගතව සිටියදී මියගොස් ඇත. සිද්ධියට සම්බන්ධ ඥාති පුතා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
(06) යාල අසල සෆාරි ජීප් අනතුර
යාල සංචාරයකින් පසු ආපසු යමින් තිබූ සෆාරි ජීප් රථයක් අනතුරට ලක්ව රුසියානු සංචාරකයින් 4 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණි. රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
(07) බියගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් රක්ෂිත බන්ධනාගාරයට
ගිනි අවියක් භාවිතා කර තර්ජනය කර පහරදීමේ සිද්ධියකට සම්බන්ධ බියගම ප්‍රාදේශීය සභාවේ වත්මන් හා හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 4 දෙනෙකු මේ මස 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
(08) ATM යන්ත්‍රයට හානි – සිරදඬුවම අත්හිටුවයි
ATM යන්ත්‍රයකට පයින් ගසා හානි කළ තරුණයින් දෙදෙනෙකුට නියම කළ මාස 6ක සිරදඬුවම වසර 10කට අත්හිටුවමින්, රුපියල් ලක්ෂ 1ක වන්දි ගෙවීමට අධිකරණය නියම කළේය.

