රංවල දෙවියන්ගේ උපත ගැන ජනප්‍රවාද කිහිපයක්ම පවතී. ඒ හැම එකකින්ම විස්තර වන්නේ ඉතා ධාර්මික මනුෂ්‍යයකු මරණින් පසු දේවත්වයට පත් වූ බවය. මහනුවර දෙවැනි රාජසිංහ රජු සමයේ කෑගල්ලේ රන්වල නම් ග්‍රාමයේ රජුට අයත් වී ගබඩාවක් භාරව තරුණයන් දෙදෙනකු වැඩ කටයුතු කළහ. නම් වශයෙන් එක් අයකු “අස්වාන් රාලද අනෙක් කෙනා රංකිරි රාල” ද වූහ. දිනක් වී ගබඩාව හදිසියේ ගින්නකින් විනාශ විය. මෙය ඔවුන් දෙදෙනා හිතාමතා කළ දෙයක් බවට මේ දෙපළගේ විරුද්ධකාරයෝ රජුට කේලම් කීය. මේ නිසා රාජ උදහසට ලක් වූ වී ගබඩාවේ භාරකරුවන් දෙදෙනා හොර රහසේම තම ගම් බිම්වලින් පලා යන්නට සිතූහ.
මේ අනුව කෑගල්ලේ රංවල ජීවත් වූ ඔවුන් දෙදෙනා අරන්දර පසුකර ගුරුගොඩට ඇවිත් කැලණි ගං තෙරට ළඟා වූහ. ඉන්පසුව පහුරු දෙකක් තනා ඒ මඟින් ගඟ පහළට ගමන් ඇරඹූහ. රාත්‍රිය ළඟා වූ විට ඔවුන්ගේ ගමන ඉතා දුෂ්කර විය. අන්ධකාරය නිසා ගඟේ ගල්පර වංගු වක්කලම් ආදිය නොපෙනුණි. මෙම ස්ථානවල රාත්‍රි කාලයට ආලෝකයක් දැල්වීමට හැකිකමක් ඇත්නම් එම ගඟ තරණය කරන්නට කෙතරම් පහසුවක් වේදැයි අස්වාන් රාල සිතුවේය.
පසුදා අරුණලු නැඟඑන විට මිතුරන්ගේ පහුරු දෙක ගඟේ දකුණු ඉවුරට වෙන්නට තැබූ රමණීය වැලිතලාවක නතර කරනු ලැබුවේ මඳ විවේකයක් ලබනු රිසියෙනි. තුරු වදුලු හා ගඟට නැවී ගිය බක් මී ගස් පේළියකින් යුතු පරිසරය අස්වාන් රාලගේ නොමඳ සිත් ගත්තේය. අවට වටපිට බලන සඳ එක්තරා තරුණ යුවතියක් හිමිදිරියේ දිය ගෙන ඒම සඳහා ගඟ වෙත පැමිණෙනු මිතුරෝ දුටුවහ.
“නැඟෙණියනි මෙම ඉසව්ව කුමන නමක් විද” අස්වාන් රාල ඇසූහ. අයියණ්ඩි මේ රංවල ගම්මානය යැයි නැඟෙණිය පිළිතුරු දුන්නාය. අස්වාන් රාල තුෂ්ණිම්භූත විය. ඊට හේතු වූයේ තමා පැමිණියේත් රංවලකින් වූ අතර මෙම ගමත් රංවල වීම නිසාය. “අස්වාන් නුඹ මනාපනම් මෙහෙ නැවතියන් මම තව ටිකක් පහළට යනවා” ඒ රංකිරි රාලගේ කට හඬය. රංකිරි රාල ගැන ඉන් අනතුරුව ජන කතාවල සඳහනක් නැත.
අස්වාන් රාල රංවල නතර වී එදින අරුමැක්කේ මුණ ගැසුණු තරුණිය සමඟ විවාහ වී ගොවිතැන් බත් කරගෙන සුළු කාලයක් ජීවත් විය.
ඉන් අනතුරුව ගිහි ජීවිතය ගැන කලකිරුණු ඔහු ගිහිගෙය අතහැර දමා ගං තීරයට පැමිණ එහි අසපුවක් තනාගෙන භාවනාවේ ද යෙදෙමින් ආගමානුකූල ජීවිතයක් ගත කිරීමට පටන් ගත්තේය.
ඔහු සිල් ඇත්තකු මෙන් සුදු ඇඳුමක් ඇන්දේය. ඉඳහිට උඩුගං බලා පහුර පැදගෙන ගොස් හිස් වැල්ලෙන් එගොඩ වී අස්ථිවල රැහැ බෝධියක් පිහිටි මැද්දෙගම දෙමළගම විහාරයට ගොස් සිල් සමාදන් වීමටද අමතක නොකළේය.
සතර පෝයට නොවරදවාම ගඟ පහළට ගොස් කැලණි විහාරය වන්දනා කිරීමටද ඔහු සිරිතක් කර ගත්තේය.
ගඟ දිගේ ඉහළ පහළ යන අවස්ථාවල ඔහු ගඟේ වංගු ගල්පර සහ වක්කලම් වැනි ස්ථානවල රාත්‍රි කාලයේ පහනක් පත්තු කර තැබීමටද වග බලා ගත්තේය. ගඟේ වක්කලම යනු වංගුවක් පිහිටි ස්ථානයකි. එවැනි තැන්වල ගන්දිය ගං ඉවුරේ හැපී බිහිසුණු දිය සුළි ඇති කරයි.
එමෙන්ම ගං පතුලද වඩාත් ගැඹුරු කරයි. මෙවැනි දිය සුළිවලට හසු වූ ඔරු පෙරළී සමහරක් විට ගිලී ජීවිත විනාශ විය. රාත්‍රි කාලයේ මෙවැනි තැන්වල ආලෝක සංඥාවක් තිබෙන විට ඔරු පාරුකාරයන්ට දිය සුළි මඟ හරහා ගමන් කළ හැකිය.
අස්වාන් රාල තමාගේ අසපුව පිහිටි රංවල තොටුපළේද රාත්‍රි කාලයේ නිබඳව පුහුල් පහන් පත්තු කිරීමට පුරුදුව සියේය.
මේ නිසා කැලණි ගඟේ ඔරු පාරු පදවන්නන්ට මොහුගෙන් සිදුවූයේ අමිල සේවයකි. මේ නිසා ඔහු ඔවුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූහ.
ජනකතා අනුව බලන විට පුහුල් පහනේ නිර්මාතෘවරයාද අස්වාන් රාලය. පුහුල් පහන සෑදීමට පුරුක් තුනක් ඇති බටලීයක් ගැනේ. එහි මැද පුරුක පමණක් පළා මැදින් පුම්බා හරි මැද්දට වන්නට බටලී වළල්ලක් සවි කරනු ලැබේ. ඉන්පසු ගොක් කොළවලින් එය ආවරණය කරයි.
මුදුනේ ගොක් කොළ එකට ගැටගසා තොණ්ඩුවක් සාදනු ලැබේ. එසේ කරනුයේ ගසක අත්තක හෝ එල්ලීමට පහසු වන නිසාය. පහන පතුලේ කදුරු ගෙඩියක් හෝ ගොඩපර ගෙඩියක් දෙකට පළා ඉන් එක් පළුවක් තබා ඊට කැකෑරෙන තෙල් වක්කර පහනක් ලෙස දල්වනු ලබයි. ගහකොළ සපිරි ගං දෑලේ පච්ච පැහැති පුහුල් පහනක් ආලෝකය දෙනෙතට ඉතා ප්‍රියමනාප දසුනකි.
කාලය ගත වෙද්දී පහුරුකාරයෝ රංවල තොටුපොළේ ගිමන් හැර පවුරු බත උයා ඉන් කොටසක් අස්වාන් රාලටද පිළිගන්වා බුලතින්ද සංග්‍රහ කොට ගමන් අරැඹීමට පුරුදු වූහ. අස්වාන් රාල මහලු වයසට පත්වන විට පහුරුකාරයන් ඔහු ඇමැතුවේ රංවල සීයා යන නමිනි.
“සීයේ අපි යනවා”
ආ හොඳයි උඹලට තෙරුවන් සරණයි!
මේ රංවල තොටුපොළ පසු කරන පහුරුකාරයන් සහ රංවල සීයා අතර නිබඳව හුවමාරු වන වචනයි.
ඉතා නිර්මල චරිතයක් ඇතිව භක්තිමත් බුදු දහම අදහමින් කාටත් උපකාර කළ රංවල සීයා මියගිය පසුවද පහුරුකාරයෝ රංවල තොටුපොළ පසුකර යන විට “ සීයේ අපි යනවෝ” යැයි කීමට පුරුදු වූහ. රංවල සීයාගේ මරණය කැලණි ගඟ දෑලේ ජීවත් වන ගැමියන්ට පමණක් නොව මුළු හේවාගම් දෙකෝරලයටම මහත් කනගාටුවට කරුණක් විය.
ගැමි ජනතාව රංවල සීයාට පින් පැමිණ වූහ. ගොඩක් මිනිසුන්ට, අරුණ උදයේ ගඟේ වැලිතලාව අසලින් සුදුවතින් සැරසුණු රංවල සීයා දක්නට ලැබිණි. රංවල සීයා දේව ආත්මයක් ලබා කැලණි ගඟ දෑලේ සරණ බව ගැමි ජනතාව අවබෝධ කර ගත්හ.
ඉන්පසු සීයාගේ අසපුවට නුදුරුව රංවල දෙවියන්ට වැඳුම් පිදුම් කිරීම, පින් දීම වැනි දෑ කරන්නට පෙළඹිණි. අදටත් රංවල ගම් ප්‍රදේශයේ සෑම නිවෙසකම රංවල දෙවියන්ට මිදුලේ තැනුණු පහන් කූඩුවේ රංවල දෙවියන්ට පහනක් දැල්වුණා. ලෙඩට දුකට රංවල දෙවියන්ගේ පිහිට පැතීම මුල් තැනක් ගනී. අදටත් රංවල පූගොඩ ගම්වැසියෝ පොල් ගසක නැග්ගත් රංවල දෙවියන් සිහි කරන්නට වූහ. ගැමියන් අතර උන්වහන්සේ ජීවමාන දේව ආත්මයක් විය.

