දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය කඩිනම්ව යථාවත් කිරීම සඳහා ගංවතුරෙන් යටවූ නිවාස හා දේපොළ පවිත්‍ර කිරීමට දෙනු ලබන ආධාර මුදල රුපියල් 10,000 සිට 25,000 දක්වා ඉහළ නැංවීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි  මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත.

ආපදා කළමනාකර මධ්‍යස්ථානය කළ  ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා  විසින් ලබාදුන් උපදෙස් පරිදි මෙම තීරණය ගත් බව  මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ආචාර්ය හර්ෂන සූරියප්පේරුම මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (02) සඳහන් කළේය.

මෙම ආධාර මුදල් ලබාදීම  සඳහා රුපියල් බිලියන 7.5(කෝටි 750ක)  මුදලක් වෙන්කර ඇති බවද එම මුදල වෙන්කරනු ලැබුවේ ආපදා කළමනාකරය වෙනුවෙන් අයවැයෙන් වෙන් කර තිබූ රුපියල් බිලියන 30ක මුදලෙන් බවද  මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේය.

මහා භාණ්ඩාගාරය විසින් පවත්වාගෙන යන මූල්‍ය කළමනාකරණයේ  සාර්ථකත්වයත්, දූෂණය පිටුදකිමින් ගෙන යන වැඩපිළිවෙළත්  නිසා  මෙම වැඩිපිළිවෙළ වඩාත් සාර්ථකව සිදු කළ හැකිව ඇති බවද  ලේකම්වරයා පෙන්වා දුන්නේය.

මෙලෙස ප්‍රතිපාදන ලබාදීමට සමගාමීව එමගින් පුරවැසියන්ගේ  ජනජීවිතය යථාවත් කර ගැනීම කඩිනම් වනු ඇතැයි ලේකම්වරයා බලාපොරාත්තු පළ කළේය.

ඒ සඳහා වන යාන්ත්‍රණ දැනටමත් සකසා ඇති බවද ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරී සම්බන්ධීකරණය කරගනිමින්  විපතට පත්ව සිටින සාමාන්‍ය ජනතාවටත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ටත් මෙම  මුදල් ප්‍රතිපාදන ලබාගත හැකි බවද ලේකම්වරයා ප්‍රකාශ කළේය. 

 තවදුරටත් යම් සහනයක් අවශ්‍ය වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ලැබෙන නිර්දේශයන්ට අනුව ප්‍රතිපාදන නිකුත් කිරීමට සුදානම් බවද මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේය.

Share.
Leave A Reply