ආණ්ඩුව දින හතකින් වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න විසදීමට කටයුතු සිදු නොකරන්නේ නම් රට පුරා දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ආණ්ඩුවට අනතුරු අඟවති.
අයවැය 2026 මඟින් සෞඛ්‍ය සේවය සහ වෛද්‍යවරුන් නොසලකා හැරීම තුළ ඇති වී තිබෙන අහිතකර තත්ත්වය හමුවේ ඉදිරි දී දැඩි ක්‍රියා මාර්ග රැසක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ ය.
ඊයේ (11) ඒ මහතා නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් කර තිබේ.
මනුෂ්‍ය සම්පත් අර්බුදය, ඖෂධ හා උපකරණ හිඟය, රෝගී සත්කාර පහසුකම් හිඟය ආදිය හේතුවෙන් නිදහස් සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීමේ අවදානමකට පත්ව ඇති බව ය.
ජනාධිපතිතුමා, සෞඛ්‍ය ඇමතිතුමා සහ මුදල් අමාත්‍යංශය තොරතුරු දැනුවත් කර ඇති නමුත් ප්‍රශ්න සාකච්ඡා කිරීමට ජනාධිපති පාර්ශවයෙන් කිසිදු පියවරක් නොගත් බව යි.
අයවැය 2026 තුළ සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට හෝ වෛද්‍යවරුන් රැඳවීම සඳහා කිසිදු යෝජනාවක් අඩංගු නොවීම GMOA විසින් දැඩි ලෙස විවේචනය කර ඇත.
මෙම තත්ත්වය මත GMOA මධ්‍යම කාරක සභාව හදිසි රැස්වීමක දී තීරණය කර ඇත්තේ,
සෞඛ්‍ය අර්බුදය ගැන මහජනතාව හා දේශපාලන නායකයන් දැනුවත් කිරීම,
රෝහල් තුළ රෝගීන්ට බාහිරින් ඖෂධ ලබා ගැනීමට නිර්දේශ කිරීම අත්හිටුවීම,
දේශපාලන කණ්ඩායම් සංවිධානය කරන සායනවල සහභාගී වීමෙන් ඉවත් වීම,
නව වාට්ටු වලට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම අත්හිටුවීම,
සහ අවශ්‍ය පහසුකම් නොමැතිව රෝගීන් පරීක්ෂා කිරීමෙන් ඉවත්වීම යන ක්‍රියාමාර්ගයයි.
එමෙන්ම රජය සතියක් ඇතුළත GMOA සමඟ සාකච්ඡා කර විසඳුම් ලබා නොදෙන්නේ නම් දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් විරෝධතා ආරම්භ කිරීමට ද තීරණය කර ඇත.
වෛද්‍ය සුගතදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ ජනතාවගේ ජීවිත අයිතිය ආරක්ෂා කරමින් නිදහස් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීම වළක්වා ගැනීම සඳහා ජනාධිපතිතුමා වහාම මැදිහත් විය යුතු බව ද ඒ මහතා නිකුත් කුළ නිවේදනයේ සඳහන් කර තිබේ.

