එහි දී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගො ඩ.

දවසේ 2026 සඳහා NPP ආණ්ඩුවේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහිදී අනුර දිසානායක ජනාධිපතිවරයා කිව්වේ රටේ මේ වෙද්දි කිසිඳු මූල්‍ය අර්බුදයක් නැහැ සියල්ල යථා තත්වවයට පත් වෙමින් තියනවා කියලා. මේ අයවැයේ මූලධර්ම සම්බන්ධයෙන් කිසිඳු විවේචනයක් විපක්ෂය පැත්තෙන් එල්ල වුණෙත් නැහැ. විපක්ෂය කියන්නේ එක්කෝ මේක පච අයවැයක්, නැතිනම් සිහින අයවැයක් කියලා. නමුත් අපි හිතනවා මෙවර ඉදිරිපත් කරපු අයවැය ඉතාම භයානකයි. සහ රටේ ජනතාව මේ ප්‍රශ්නය දැන්වත් බැරෑරුම්ව ගන්න ඕන. ඇත්තටම රටේ ආර්ථිකය යම් තරමකින් හරි ගොඩගන්න මහන්සි වෙලා තියෙන්නේ කවුද ? ඒ අය වෙනුවෙන් ද 2026 අයවැය හැදිලා තියෙන්නේ ? මෙන්න මේ ප්‍රශ්නය අපි මුලින්ම විසඳගත යුතුයි.

මේ 2025 අවුරුද්දේ මුල් මාස නවය ඇතුළේ ගිය අවුරුද්දේ මුල් මාස නවයට වඩා අපනයන ආදායම් ඩොලර් මිලියන 700කින් විතර ඉහළ ගිහිල්ලා. ඒ කියන්නේ ලංකාවේ වතු කම්කරුවෝ ටිකයි ගාමන්ට් ෆැක්ටරිවල වැඩකරන මිනිස්සුයි කොඳු කඩාගෙන නැහිලා නැහිලා රටේ ආර්ථිකයට අමතර ඩොලර් මිලියන 700ක් හොයලා දිලා. ඊලගට විදෙස්ගත ශ්‍රමිකයන් මේ අවුරුද්දේ වැඩිපුර ඩොලර් බිලියන 1ක් හොයලා දීලා තියනවා. දැන් මේ කට්ට කාගෙන වැඩ කරපු මිනිස්සු වෙනුවෙන් 2026 අයවැයේ තියෙන්නේ මොනවද ? අපි දන්න විදිහට ඒ මිනිස්සුන්ගේ සුබසාධනය වෙනුවෙන් කිසිඳු පියවරක් අරගෙන නැහෑ.

දැන් රටේ ආර්ථිකයට ඇත්තටම මොකද වෙලා තියෙන්නේ ?  මේ අවුරුද්දේ මුල් මාස නවට ඇතුළේ අපේ ආනයන වියදම් ගිය අවුරුද්දට වඩා ඩොලර් මිලියන 1671කින් වැඩි වෙලා. එතනින් ඩොලර් මිලියන 1204ක් වැයවෙලා තියෙන්නේ වාහන ආනයනය සඳහා. ඒ කියන්නේ දේශීය සහ විදෙස්ගත ශ්‍රමිකයෝ නැහිලා නැහිලා ඩොලර් හොයලා දුන්නට වැඩක් නැහැ ඒ සල්ලි නැවත වාහන මිලදී ගන්න වියදම් කරලා. මෙතන තියන ප්‍රශ්නය තමයි ඒ වාහන ගෙන්නලා තියෙන්නෙත් සාමාන්‍ය ජනතාවට මගී ප්‍රවාහණය සඳහාවන බස්‍ රථ, දුමිරිය, ත්‍රීරෝද රථ වගේ ඒවා නෙමෙයි. ධනකුවේරයන්ට සුඛෝපභෝගී වාහන තමයි ගෙන්නලා තියෙන්නේ. ඊලගට ජනාධිපතිවරයා කිව්වා ඍජු විදේශ ආයෝජන වැඩිවෙලා කියලා. මේ අවුරුද්දේ මුල් මාස නවය ඇතුළේ ඩොලර් මිලියන 827ක් ඍජු විදේශ ආයෝජන විදිහට රට ඇතුළට ඇවිත් තියනවා. මෙතනිනුත් නව ආයෝජන විදිහට ඇවිත් තියෙන්නේ ඩොලර් මිලියන 124යි. මේ ආයෝජන ආවට වැඩක් නැහැ. මොකද මේ ආයෝජනවල ලාභය විදිහට ඩොලර් මිලියන 779.5ක් රටෙන් එළියට අරන් ගිහින්. ඒ කියන්නේ අපිට ඩොලර් මිලියන 40ක් විතර තමයි අපිට ඉතුරුවෙලා තියෙන්නේ. පසුගිය ඔක්තෝබර් මාසේ නිකුත් වුණා හියුමන් රයිට්ස් වොච් මානවහිමිකම්  වාර්තාවක්. ඒකේ කියන විදිහට මේ ආයෝජකයෝ කියාගෙන ලංකාවට එන බහුජාතික සමාගම් බදු ගෙවන්නේ නැතුව වාර්ෂිකව ඩොලර් මිලියන 413කට වැඩි අලාභයක් කරනවා ලංකාවේ ආර්ථිකයට. හැබැයි ඒ තක්කඩියෝ ටික වෙනුවෙන් තමයි මෙවර අයවැයේ වැඩිම බරක් තියලා තියෙන්නේ.

FDI එහෙම නැත්තම් විදේශීය ආයෝජකයන් වෙනුවෙන් නව පනත් ගණනාවක් ගේන්න නියමිතයි කියලා ජනාධිපතිවරයා කිව්වා. කොළඹ වරාය නගර පනත සංශෝධනය කරනවා කිව්වා, ක්‍රමෝපාය ව්‍යාපෘති සංවර්ධන පනත, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව පනත, ආයෝජන ආරක්ෂණ පනත මේ සියලු පනත් 2026 අවුරුද්දේ ගේන්න නියමිතයි. හැබැයි ඩොලර් බිලියනක් වැඩිපුර හොයලා දුන්න විදෙශ් ශ්‍රමිකයන් වෙනුවෙන් එක පනතක් නැහැ. දේශීය කම්කරුවෝ නැහිලා නැහිලා ඩොලර් මිලියන 700ක් වැඩිපුර හොයලා දුන්නා. ඒ අයට කෘතගුණ සලකන්න යන්නේ කම්කරු අයිතිවාසිකම් මුළුමනින්ම අහෝසි කරන තනි කම්කරු නීතිය ගෙනල්ලා. ඒ විතරක් නෙවෙයි. බ්‍රිතාන්‍යයන් පවා නොකළ විදිහට ස්ත්‍රීන් හා ළමුන් සේවයේ යෙදවීම පිළිබඳ පනතට අතිෂයින් භයානක සංශෝධනයක් ගෙනල්ලා තියෙන්නේ. ඒ මදිවට පෞදගලික අංශය ලවා ලංකාවේ පොදු කම්කරු නීතිය බලපාන්නේ නැති විශේෂ ආයෝජන කලාප ඇති කරන්නත් ආණ්ඩුව ලෑස්ති වෙනවා. මේක ජේ ආර්වත් කළේ නැහෑ. ජේ ආර් පවා ආයෝජන කලාප හැදුවේ රජයේ මැදිහවීමක් එක්ක. අනිත් බරපතළම කාරණය තමයි ඉඩම් බැංකුවක් හදන කතාව. අර මොණරාගල වගේ පැතිවල ඉන්න ගොවියගේ ඉඩම් ටික කොළඹ ඉඳගෙන කොල්ලකන්න පුලුවන් විදිහේ පහසුකමක් බහුජාතික සමාගම්වලට හදන්න තමයි මේ නීතිය ගේන්නේ. ඊලගට සිංගප්පූරු තමසෙක් ආකෘතියේ හෝල්ඩිං කම්පැනියක් හදන්න කතාකළා. මේක ගේන්නෙත් ලංකාවේ දැනට තියන කර්මාන්ත ටිකත් කුණු කොල්ලෙට ආයෝජකයන්ට දීලා දාන්න. දේපළ වෙළඳාම් සමාගම් 70කට විශාල බදු සහනයක් දීලා. ඒගොල්ලො මොනවද ආර්ථිකයට ලබාදෙන දායකත්වය. ඊටපස්සෙ නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කරන්න කතාකලා. මේ හැම යෝජනාවක්ම එන්නේ අර බදු වංචා කරන සාමාන්‍යෙ ජනතාව සූරාකන මහාපරිමාණ ප්‍රාග්ධනය වෙනුවෙන්.

මෙවර අයවැයේ සමස්ථ රාජ්‍ය ආදායමෙන් 92.64%ක්ම තියෙන්නේ බදු ආදායම්. ඒ කියන්නේ රජයට වෙන ආදායම් එන්න ක්‍රමයක් නැහැ. දැන් ජනාධිපතිතුමා චන්ඩියෙක් වගේ පාර්ලිමේන්තුවේදි කිව්වනෙ රජය කර්මාන්තවලින් ඉවත් වෙන්න ඕන. ඒවා ඔක්කොම පෞද්ගලික අංශයට පවරන්න ඕන කියලා. මේක තමයි ඒකේ කතාව. රජය සම්පූර්ණයෙන් කර්මාන්ත ක්ෂේත්‍රයෙන් ඈත් වෙනවා. ඊටපස්සෙ සාමාන්‍යෙ ජනතාව කොඳු කඩාගෙන වැඩ කරලා රජයට බදු ගෙවන්න ඕන. නැත්තම් රජය පවත්වාගෙන යන්න වෙන පාරක් නැහැ. ඇමරිකාවේ අන්ත දක්ෂිණාංශික ජනාධිපති ට්‍රම්ප් පවා කියනවා වානේ කර්මාන්තය පෞද්ගලික අංශයට දීලා බැහෑ. ඒකට රජය මැදිහත් වෙන්න ඕන කියලා. ඒ අස්සේ අපේ එක්කෙනා පාර්ලිමේන්තුවේදි කියනවා රජය සිමෙන්ති හදන්න ඕන නැහැ. සිමෙන්ති කර්මාන්ත ශාලාව පෞද්ගලික අංශයට දෙන්න ඕන කියලා. ඔන්න ජනතාවාදී කියාගත්ත ආණ්ඩුවේ වැඩ.

දැන් මේ බදු ආදායම ගත්තම ඒක කවුද ගෙවන්නේ ? බදු ආදායමෙන් 24.64%යි ආදායම් බදු තියෙන්නේ. සමස්ථ බදු ආදායමෙන් 75.36%ක්ම තියෙන්නේ වක්‍ර බදු. ඒ කියන්නේ සාමාන්‍යෙ ජනතාව ගන්න හාල් ටිකෙන් පරිප්පු ටිකෙන් ගෙවන බදු. මෙවර උපයගන්න බලාපොරොත්තු වෙන ආදායම් බදු රුපියල් බිලියන 1210න් පවා බිලියන 215ක් ගෙවන්න ඕන වැටුප් ශ්‍රමිකයන්. ඒකට තමයි වැඩකරන ජනතාව මත උපයන විට ගෙවන බද්දක් ගහලා තියෙන්නේ. ඊලගට වැඩිහිටි ජනතාව තමන්ගේ කීයක් හරි එකතුකරලා බැංකුවේ දැම්මහම ඒකට ගහන විත් හෝල්ඩිං ටැක්ස් එකෙන් බිලියන 185ක් මංකොල්ල කන්න යනවා. ඔහොම බෙදලා බැලුවම මෙවර ආදායම් බදුවලින් සමාගම්වල ලාභය මත අයකරන ඍජු බද්දෙන් රජය අපේක්ෂා කරන්නේ බිලියන 2යි. සමාගම්වල වැඩ කරන මිනිස්සුන්ගෙන් බිලියන 215ක් ගන්න ආණ්ඩුව සමාගම් අයිතිකාරයන්ගෙන් ගන්නේ බිලියන 2යි. එතකොට කවුරු වෙනුවෙන්ද මේ අයවැය හදලා තියෙන්නේ ?

භාණ්ඩ හා සේවා මත මෙවර අපේක්ෂා කරන බදු ආදායම රුපියල් බිලියන 2937ක්. ලංකාවේ දැනට ගෙවල් ලක්ෂ 60ක් තියනවා. එතකොට එක ගෙදරක් මාසෙකට රුපියල් 40,798 ගානේ රජයට බදු ගෙවන්න ඕන. අන්තිමට බලද්දි ආර්ථිකය ගොඩගන්න ඩොලර් ටිකයි රුපියල් ටිකයි හොයලා දීපු වැඩ කරන ජනතාව කඩේ ගිහිල්ලා බඩු ගනිද්දි ඒකටත් විශාල බද්දක් ගහලා. ඒ කරලා මහාපරිමාණ සමාගම් හිමියන්ට අයවැයෙන් අධික සහනයක් දෙනවා. එහෙම කරලා ඇවිත් පම්පෝරි ගහනවා අපි ආර්ථිකය ගොඩ ගත්තා කියලා. මේ මහාපරිමාණ ධනපතියෝ තමයි ඩොලර් බිලියන 58ක් වංචනිකව රටෙන් එළියට ඇදලා තියෙන්නේ. මේවා කියන්නේ අපි නෙවෙයි පාර්ලිමේන්තු වාර්තාවල තියෙන්නේ. අන්තිමට ඒ කූට ජාවාරම්කරයින්ට සහන දීලා අර්බුදයේ සමස්ත බර වැඩ කරන පන්තියේ කර උඩ පටවන්න මේ ආණ්ඩුවත් තීරණයක් අරගෙන.

මේකට අමතරව මධ්‍යම රජය ප්‍රාදේශීය සභා නගර සභාවලට කරන වියදම් කප්පාදු කරන්න යෝජනා කරනවා. එතකොට ඒ ආයතන නඩත්තු කරන්න පවා සාමාන්‍යෙ ජනතාව අලුතින් බදු ගෙවන්න ඕන. අර ගහෙන් වැටුණු මිනිහට ගොනා අනිනවා වගේ සාමාන්‍යෙ ජනතාවට දෙපාරක් බදු ගෙවන්න වෙනවා මේ සෙල්ලමෙන්. මොකද ප්‍රාදේශීය සභා නගරව සභාවලට ආදයම් හොයන්න වෙන ක්‍රමකයක් නැහෑ. ඒගොල්ලන්ට වෙන්නෙත් නැවත බදු ගහන්න තමයි.

දැන් මේ ඔක්කොම කරලා පම්පෝරි ගහනවනේ ආර්ථිකය ගොඩ දැම්මා කියලා. ඒ ගැනත් අපි කියන්නම්. මෙවර අයවැයේ සමස්ථ රාජ්‍ය වියදම් ප්‍රමාණය රුපියල් බිලියන 7057ක් තියනවා. ඒකෙන් රුපියල් බිලියන 4495ක්ම වෙන් කරන්නේ ණය ගෙවන්න. ඒ කියන්නේ අපේ සමස්ථ රාජ්‍ය වියදමෙන් 63%ක්ම වෙන් කරලා තියෙනේ ණය ගෙවන්න. අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු ප්‍රවාහණය, දිළිඳු සුබසාධන  මේ හැම එකටම වෙන් කරන්නේ 30%යි. එහෙම තත්වයක් ඇතුළෙත් රුපියල් බිලියන 3740ක් අලුතින් ණය ගන්න ඊයේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලුවා. මේක තමයි අපි කියන අර්බුදය. මිනිස්සු කොඳු කඩාගෙන වැඩ කරලා බදු ගෙවනවා. ඊටපස්සෙ ඒවගෙන් දේශීය සහ විදේශීය ආයෝජකයන්ට සහන දීලා ආයෙමත් ණය ගන්නවා ආර්ථිකය දුවවන්න. ඊටපස්සෙ ඒ ණය නැවත ගෙවන්න වෙන්නෙත් වැඩ කරන  ජනතාවට. දැන් ඒ ණය අපි කොහොමද ගෙවන්නේ ?

2024 අවුරුද්ද අවසන් වෙද්දි අපේ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6091යි. හැබැයි 2025 අගෝස්තු අවසන් වෙද්දිත් සංචිත ප්‍රමාණය වැඩිවෙලා තියෙන්නේ ඩොලර් මිලියන 6178ක් දක්වා විතරයි. ඒ කියන්නේ මාස 8ක් තිස්සේ ඩොලර් මිලියන 87යි අලුතින් හොයලා තියෙන්නේ. අපි නැවත ණය නොවී ණය පොලී වාරික ගෙවන්න නම් මේ දෙසැම්බර් 31 වෙද්දි ඩොලර් මිලියන 7174ක් සංචිත විදිහට තියාගන්න ඕන. හැබැයි අද වෙද්දි සංචිත තියෙන්නේ ඩොලර් මිලියන 6240යි. මාස අටකදි හෙව්වේ ඩොලර් මිලියන 87යි නම්. අපි කොහොමද ඉතුරු මාස 2 ඇතුළේ ඩොලර් මිලියන 953ක් හොයන්නේ. ඒක කොහොමවත් කරන්න බැහැ. දැන් ආණ්ඩුව අපෙන් අහනවනේ අර්බුදය මොකක් ද කියලා. මේක තමයි අර්බුදය. අන්තිමට වෙන්නේ නැවත ඩොලර් බිලියනයක ණයක් ගන්න වෙනවා. ඊලගට 2026 දෙසැම්බර් 31 වෙද්දි සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 9262ක් දක්වා වර්ධනය කරගන්න ඕන. ඊලගට 2028 අපි නැවත ණය ගවන්න නම් 2027 දෙසැම්බර් අවසන් වෙනකොට ඩොලර් මිලියන 13466ක් දක්වා සංචිත වැඩි කරගන්න ඕන. ඒ කියන්නේ දැන් තියන සංචිත ප්‍රමාණය දෙගුණයක් කරන්න ඕන අවුරුදු දෙකක් ඇතුලත. පොඩි ළමයෙකුට උනත් තේරෙනවා මේ කරන්න බැහැ කියලා.

අන්තිමට මේ සල්ලි හොයන්න ආණ්ඩුව කරන්නේ තව ණය ගන්න එක. ණය ගන්නවා ඊටපස්සෙ රටේ තියන දේපළ විකුණනවා. විදුලිබල මණ්ඩලේ ඊටපස්සෙ කර්මාන්ත ශාලා අර මන්නාරමේ ත්‍රීකුණාමලේ ඉඩම් මේවා විකුණන සැලසුම් එන්නේ මේ නිසා. අපි කට කැඩෙනකල් කිව්වා මේ ආණ්ඩුවට අර රනිල් හදලා ගියපු මේ ණය උගුලේ වැටෙන්න එපා කියලා. හැබැයි කනකටවත් ගත්තේ නැහෑ. දැන් ඒක දුර්විපාක ගෙවන්න වෙන්නේ මේ රටේ සාමාන්‍යෙ ජනතාවටයි පොඩි ළමයින්ටයි. ඒ ළමයි යන ඉස්කෝල ටික වහනවා. මිනිස්සුට ලෙඩ වුනාම බෙහෙත් ගන්න විදිහක් නැති වෙනවා. ඕක තමයි අන්තිමට වෙන්නේ.

ජනාධිපති තුමා පාර්ලිමේන්තුවේදි කරපු අයවැය කතාව ඇහුවම අන්තිමට අපිට මතක් වෙන්නේ පරණ ජන කවියක්.

 ” ගසට කෙටුම ගස මුල පෑයුමෙන්      දැනේ

මිනිහා නොමිනිහා යන කඩිසරෙන්  දැනේ

අමුතු බත් දීම අත ඇල්ලුමෙන්          දැනේ

හානා හීය පානා අඬහැරෙන්             දැනේ

ආණ්ඩුව ජනතාවට දෙනවා කියන සුබසාධන ගැන කියන්න තියෙන්නෙත් අමුතු බත් දීම අත ඇල්ලුමෙන් දැනේ කියලා තමයි. ජනතාවට දෙනවා දෙනවා කිව්වට හම්බෙන දෙයක් නැහෑ. ඔක්කොම දෙන්නේ ධනපතියන්ට. අන්තිමට කියන්න තියෙන්නේ මේ විදිහට වැඩ කරලා ආණ්ඩුව හාගන්නයි යන්නේ. ඒ හාන හෑම කොච්චරක් ද කියලා ඊයේ ජනාධිපති තුමා පාර්ලිමේන්තුවේදි පාපු අඬහැරෙන් අපිට හිතාගන්න පුලුවන්.

Share.
Leave A Reply