පසුගිය කාලය තුළ නාය යෑම්වලට ලක් වී තවමත් අනාථ කඳවුරුවල සිටින පවුල් සඳහා කඩිනමින් නිවාස ලබාදීමටත්, ඒ අනුව එම නිවාස ඉදිකිරීමට මාර්තු මුල් සතියේ ආරම්භ කිරිමටත් කටයුතු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේය.

අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සමග වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ දී අද (10) දින පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
ඒ අනුව නායාම් නිසා කෑගෑල්ල දිස්ත්‍රික්කයේ පවුල් විසි දෙකක්(22) අනාථ කඳවුරුවල සිටින බවත් බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්ලුල්ල ප්‍රදේශයේ නායාම් නිසා වසර පහක් පුරා පවුල් පනස් එකක් (51) සිය දරු පවුල්ද සමග කබරගල වසා දැමූ තේ කර්මාන්ත ශාලාවක සිටින බවත් පැවසූ අමාත්‍යවරයා මෙම ජනතාව සඳහා ස්ථිර නිවාස ඉදිකිරිම වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වියදමින් සිදුකෙරෙන බවද මෙහිදී සඳහන් කළේය.

මෙම නිවාසයන්හි ඉදිකිරීම් කටයුතු ත්‍රිවිධ හමුදාව විසින් භාරගත් බවත්. ඒ අනුව හල්දුම්මුල්ල කබරගල නිවාස ඉදිකිරිම යුද හමුදාව විසිනුත් කෑගල්ල නිවාස ඉදිකිරිම නාවික හමුදාව විසිනුත් බාර ගත් බවත් පැවසූ අමාත්‍යවරයා එම නිවාස ඉදිකිරීම කඩිනම් කිරීම වෙනුවෙන් 15 වන සෙනසුරාදා දින කබරගල අවතැන් කඳවුර නිරීක්ෂණය කරන බවත්, 17 වන සඳුදා දින කෑගල්ල අවතැන් කඳවුර නිරීක්ෂණය කරන බවත් සඳහන් කළේය.

මෙම සාකච්ඡාව සඳහා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා අතිරේක ලේකම්, දීප්තිකා ගුණරත්න මහත්මිය, ආරක්ෂක අමාත්‍යාංශය අතිරේක ලේකම් ගාමිණි මගහමගේ මහතා මෙන්ම ත්‍රිවිධ හමුදාවේ ඉහළ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගිවුහ.

චමාල් සයුරංග,
මාධ්‍ය ලේකම් – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය,
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය

Share.
Leave A Reply