ඇගේ උණුසුම් සමයේදී .. ඇයට අපේ හදවතේ උණුහුම දෙමුද ?
ජීවිතේ කියන්නෙම ප්‍රශ්න ගොඩක්. ඒ ප්‍රශ්න විසඳීම කියන්නෙ ජීවත් වෙනව කියන එක.
සමහර ප්‍රශ්න ,ප්‍රශ්නම නෙවෙයි.ඒක සාමාන්‍ය තත්වයක්..ඒත් ඒක ඒ මොහොතේ දැනෙන විදිහ වෙනස් වගේ පේනව,දැනෙනව..
සමහර ප්‍රශ්න බොහොම ලේසියෙන් විසඳාගන්න පුලුවන් .ඒත් ඒක පටන් ගන්නෙ කොහොමද කියන එක ගැන අදහසක් නැති නිසා විඳවනව අපි ඒ මත්තෙම නැහිල.
අද මා හමුවෙන්න ආව දෙන්නගෙ කතාවත් ඒ වගේ ප්‍රශ්නයක් නොවන ප්‍රශ්නයක්.
“මල්ලි…මේක විවුර්තව කතා කරන්න ඕන…
ඔයාට ඕන ගානක් ගන්න…ඒක.ප්‍රශ්නයක් නෑ….ඔහු කිව්වා…
නෑ අයියේ ..ඔයාගෙ ප්‍රශ්නෙ කියන්නකො..
මම ඉතින් ඔය වගේ දේවල් කතා කරල සල්ලි ගන්නෙ නැති බව ඔයා දන්නවනෙ…අපි අපි උදව් කර ගන්න ඕනනෙ ..නේද ? මොකද ගර්ල් ෆ්‍රෙන්ඩ් තරහ වෙලාද ? මම පොඩි විහිළුවක් කලේ සංවාදය පටන් ගන්න….
ඔව් මල්ලී..එයත් මේකට සම්බන්ධයි..
ඔහු ගර්ල් ෆ්‍රෙන්ඩ් කිව්වෙ තමන්ගෙ බිරිඳට ..ඒක එදා ඉඳන්ම මට කියද්දී තමන්ගෙ බිරිඳව හඳුන්වන්න ඔහු පාවිච්චි කරපු වචනේ…
මෙහෙම කියන්න බෑ බං ..මං හෙට එයා එක්ක උඹේ ඔෆීස් එකට එන්නම්…
අක්කත් එක්කම එන්න අයියා…
මම විස්තර ටිකක් කතා කර අවසානයෙදි කිව්ව…
සිකුරාදා වැහි දවසක්..ඒත් ඔෆීස් එකෙන් මං එලියට බහින්න විනාඩි දහයක් විතර තියෙද්දි ඒ දෙන්න ආව කාර් එක සියඹලා ගහ යට නැවැත්තුව.
එතැන් සිට පැයක් විතර දිග් ගැහිච්ච අපි තුන් දෙනාගෙ සංවාදෙ ඉතාම විවුර්ත එකක්..
ඒ සංවාදෙ තිබුන අතිශය පෞද්ගලික ඒ වගේම ප්‍රසිද්ධියෙ කියන්න ටිකක් අමාරු කාරණා හැරුණුවිට කතාව මෙහෙමයි..
ඇත්තටම මල්ලි මෙයා දැන් ටික කාලෙකට කලින් ඉඳන් යස්සනියක් වගේ..හොස්ස ලඟින් මැස්ස යන්න බෑ..
ඇඳට ගියාම මං අත අල්ලනවටවත් කැමති නෑ…
.
ඉන් පස්සෙ දිගෑරුනේ නලින් අයියගෙත් මාලනී අක්කගෙත් ලිංගික ජීවිතේ ගැන අතිශය සංවේදී කතා ටිකක්..
වයස අවුරුදු පනහකට ලං වෙච්ච මාලිනී අක්කා මුලදි අසරණ විදිහට බලා හිටියත් ටික වෙලාවකින් ඈට කට ඇර ගන්න හැකි වුනා…
ඇත්තටම මල්ලි..මං එහෙම කරන්නෙ හිතල නෙවෙයි….ඒත් අයියාත් මාව තේරුම්.ගන්න ඕනනේ නේද ?
ඉන් පස්සෙ කාන්තාවකගෙ ආර්තව චක්‍රය ,ආර්තව හරණය ආසන්නයේ වෙන දේවල් (menaphos ) ගැන මට ඒ දෙන්න එක්ක ටිකක් ගැඹුරට කතා කරන්න සිද්ධ වුනා…
ඇත්තටම කාන්තාවකගේ ආර්තව චක්‍රය ,ආර්තව හරණය ..ඒ ඒ කාල වලදී එකිනෙකා තේරුම් ගැනීම…ඒ කාලයෙදී ලිංගික ජීවිතය ගැන අපේ රටේ විවාහක යුවලවල් පවා හරි හැටි නොදැන සිටීම අවාසනාවක් බව නලීන් අයියගෙත් මාලිනී අක්කගෙත් සංවාදය මට ආයෙත් මතක් කරල දුන්න…
මේ කාල සමයන් ගැන හරියට දැනගෙන ඒ කාලෙට කරන්න ඕන අඳුනාගැනීම කලොත් වෙනද වගේම ජීවිතයක් දෙන්නටට ගත කරන්න,විශේෂයෙන්ම ලිංගික ජීවිතේ වෙනද වගේම සතුටින් ගෙවන්න පුලුවන් කියන දැනුම ලාංකීය සමාජෙ බෙදා හරින්න ඕන දැනුමක්..
නැත්නම් ගොඩ දෙනෙක් ගොඩක් පවු..
ඒ නිසා අපි කතා කල යුතු කරුණු බර ගාණකින් කීපයක් මම මෙහෙම ලියන්න හිතුවෙ අඩුම ගණනෙ ඒක කතා කල යුතු මාතෘකාවක් කියල කෙනෙකුට හිතුනොත් ඒකත් වටින නිසා…
ඒ කරුණු මෙහෙමයි..
ආර්තවහරණය ආසන්නයේදී වගේම ආර්තව හරණයෙන් පස්සෙ ඇතිවන විශේෂ තත්වයන් කීපයක් තියෙනව .ඇත්තටම සමහරු ඒවට ගැටළු කිව්වට ඒව ගැටළු නෙවෙයි….
මූලිකම. කාන්තා හෝමෝන දෙකක් තියෙනවනෙ. ඊස්ට්‍රජන් , ප්‍රොජෙස්ටරෝන් කියල.ඒ හෝමෝන කාන්තා සිරුරේ නිෂ්පාදනය වීම මේ කාලයේදී කැපී පෙනෙන මට්ටමකින් අඩුවෙනව..මේ හෝමෝන අඩුවීම නිසාම ගැහැණු සිරුරේ ඇතිවෙන සමහර ලක්ෂණ ගැන ගෑණු පිරිමි අපි කොයි කවුරුත් හොඳ අවබෝධයෙන් ඉන්න ඕන..
කාන්තාවට වෙනදාට වඩා රාත්‍රී කාලයේදී දහදිය දානව. සමහරු ඒ කාලෙට තමන්ගෙ ඇඟ හරි උණුසුම් …පිච්චෙනව වගේ අනේ කියල කියනව..
වෙනද ටිකක් තෙත ගතියෙන් තිබුන යෝනි ප්‍රදේශය (Vagaina) වියළි බවට පත් වෙනව..
වෙනද අපහසුවකින් තොරව කැමැත්තෙන් කලත් දැන් Sex කරනකොට ( යෝනි ප්‍රවේශ වීමකදි එනම් sexual intercorse වලදී එය වේදනා සහගත අත්දැකීමක් බවට පත් වෙනව..
වෙනද වගේ නෙවෙයි.මේ කාලෙ නින්ද අඩුවීම කාන්තාවන්ට කරදරයක් වෙනව සමහර වෙලාවට..
ඇයට සමහර ශාරීරික වගේම මානසික අපහසුතා ඇතිවෙනව..ඇඟ රිදෙනව කියල ගොඩක් කාන්තාවො පැමිණිලි කරනව..ඒ වගේම කියා ගන්න බැරි මොකක්දෝ බරක් වගේ එකක්,හිතේ සතුට නැති වගේ ගතියක් එයාලට දැනෙන්න පුලුවන් ..බලාපොරොත්තු අඩුවීමක් වගේ ගතියක්…ඔහේ ඉන්නවට ඉන්නව වගේ ගතියක් සමහරුන් පෙන්නුම්.කරනව…
සමහර කාන්තාවො මානසික අවපීඩනය වගේම අනවශ්‍ය අධික ආතතියත් ලක් වෙනව මේ කාලයෙදි…
මේ කිව්වෙ ලක්ෂණ ටිකක් විතරයි..ඒත් මේව හෝමෝන වෙනස් වීම.එක්ක එන සාමාන්‍ය තත්ව විදිහට අඳුන ගන්න එක වැදගත්..ඒව කරදරකාරී මට්ටමට එනවනම් කරන්න ගොඩක් දේවල් තියෙනව ..
අපහසුතා විඳගෙන ඉන්න කොහෙත්ම ඕන නෑ..ඒ වගේ කායික මානසික වෙනස්කම් එද්දී අවශ්‍ය ප්‍රතිකාර වගේම දැනුවත්වීම් ලබා ගැනීමත් උපදේශනයට යොමුවීමත් හරි වැදගත්..
කාන්තාවට වෙනද වගේම සාමාන්‍ය විදිහට ලස්සනට ජීවිතේ ගෙවන්නත් පවුලේ සාමය රැකෙන්නත්..සමාජය එක්ක වෙනද වගේම ඇයට කටයුතු කරන්නත් මේ මැදිහත්වීම් හරියට වටිනව..
ජානක සුනෙත් බණ්ඩාර
( Researcher in sexology )
2024.11.18
(සත්‍ය කතාවකි. නම් පමණක් අසත්‍ය වේ.ජායාරූප අන්තර්ජාලයෙන් )
The post ඔබේ සුවසෙත 01 appeared first on PFP News.