ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණා දැමීමට රනිල් සහ පුත්‍රයෝ අලෙවි සමාගම විසින් කර තිබූ සැලසුම් සියල්ල අහෝසි කළ බව මාධ්‍ය වාර්තා කරයි. සිංහල බෞද්ධ ජන නායක අනුර කුමාරයා විසින් ගත් එම තීරණය වෙනුවෙන් අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙමු!
ශ්‍රී ලංකන් යනු අපගේ ජාතික අභිමානයයි. අපගේ නාමය දේශ දේශාන්තර සිසාරා පියාසර කරන්නේ එයිනි. අප හැමදාම කියූ පරිදි ලෝකයේ බහුතරයක් ජාතික ගුවන් සේවා කොහොමත් දුවන්නේ පාඩුවටය. මූල්‍ය ලාභයෙන් පමණක් සියල්ල මැනිය නොහැකිය. සමාජ, සංස්කෘතික, දේශපාලනික කාරණා ගැනද අප ඒ ඒ වටිනාකමින් සැලකිය යුතුය. අතිගරු මහින්ද රාජපක්ෂ එදා කළ පරිද්දෙන් මෙදා අතිගරු අනුර කුමාරයා අපගේ ජාතික ගුවන් සේවය ආරක්ෂා කර තිබේ. ජාතික සම්පත් සියල්ල විකුණා දැමීමට කට කියවන ඇඩ්වොකටා වැනි බක පණ්ඩිතයන්ගේ කණට ගැසීම පිළිබඳව ප්‍රීතියි සොයුර, ප්‍රීතියි!
බොහෝ අය නොදන්නවා වුණාට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිල ලාංඡනයේ ඓතිහාසික සත්‍යයක් සඟවා තිබේ. එහි ඉන්නේ මොනර පක්ෂියාය. මීට පෙර එය හැඳින්වූ එයාර් ලංකා ලාංඡනයේ සිටියේත් මොනරාය. මොනරා යනු මෞර්ය වංශයේ සංකේතයයි. මෞර්ය හෙවත් මොරිය වංශය යනු ඉපැරණි මගධ අධිරාජ්‍යයේ දැවැන්තම අධිරාජයා වූ ධර්මාශෝකයන්ගේ වංශයයි. කොටින්ම ලක්දිවට වැඩම කර සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය ඊළඟ පිම්මට එසවූ මහේන්ද්‍ර හෙවත් මහින්ද හෙවත් මිහිඳු මාහිමියන් උපන් වංශයයි. එය ශාක්‍ය වංශිකයන්ටද නෑකම් කියයි. අහස් ගැබ සිසාරා පියාසර කරන ලංකාවේ ගුවන් සේවය ලෝකයට පෙන්වන්නේ අපගේ ඉපැරණි ආර්ය සිංහල බෞද්ධ උරුමය බව සිහි කරන විට සතුටක් දැනේ. එය ආරක්ෂා කළ ජනාධිපති සහෝදරයාට මාගේ ආචාරය!
භාරත්-ලංකා පාලම හෙවත් “විජයගේ පාලම” හැදීමෙන් අප නැවතත් එම ඉපැරණි දේශපාලන ව්‍යාපෘතිය 21 වන සියවසේ සාක්ෂාත් කරනු ඇත. ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය විශාල සේවයක් කිරීමට නියමිතය. මහින්ද රාජපක්ෂගෙන් පසු සිංහල බෞද්ධ ජාතික රාජ්‍යයේ ස්වර්ණමය යුගය අනුර කුමාරයා විසින් මල්ඵල ගන්වනු නොඅනුමානය. ධර්මය ඔබට මග වේවා!
මෙවැනි රසබර ලිපි ලියූ සැණින් කියවන්න ගිනිහුළ පාඨක සමූහයට එකතු වෙන්න: https://ift.tt/LZ7J5Aw
එරන්ද ගිනිගේ
2024 ඔක්තෝබර් 16
The post ජාතික අභිමානය රැකි අපේ ජනපති appeared first on PFP News.