මගේ රාජකාරි ජීවිතේ ඇසුණු, නොඇසූ කථාවක්…… මම කියන්න යන කථාවෙ, කථානායක ඔබ අහල නැතිව ඇති. ඇහුවත් පොත හා පරිවර්ථනය අහල නැතිව ඇති. 2010 වසරේ දිනෙක මගේ කාර්යාලයේදී, මා හමුවූ පුද්ගලයෙකු, ඔහුගේ නිවසේ විදුලි පාරිභෝගික නාමය වෙනස් කිරීමට අවශ්‍ය බව කිව්ව. මෙය සාමාන්‍ය දෙයක් වුනත්, තමන්ගෙ නමට තියෙන එක වෙනස් කරන ඉල්ලීමෙ විශේෂත්වයක් පෙනුන නිසා, ප්‍රශ්ණ කීපයක් ඇහුව. “ඇයි වෙනස් කරන්නෙ, නම මොකක්ද?” “ගේ විකුණුව, මම සෙල්වදොරෙයි” සාමාන්යෙන් ගනිපු කෙනා මිසක්, විකුණපු කෙනා එහෙම ඉල්ලීමක් කරන්නෙ නැති නිසා, ඔහු තවදුරටත් කථාවට අල්ලගන්න හිතුණ. “කොහෙද ඉන්නෙ”? “කැනඩාවෙ” මට එක සැරේට මතක් වුනා, ඊට කලින් සතියෙ ලංකාදීප පත්තරෙන් කියවපු ලිපිය. මගෙන් තව ප්‍රශ්ණයක්. “ශ්‍යාම් සෙල්වදොරෙයි අදුරනවද?” “ඒ මගෙ පුතා, අපි කැනඩ යන්න එයත් එක හේතුවක් තමයි, ආපහු ආපු දවසක ඉන්න ගෙයක් අරගෙන තිබුන, ඒකත් විකුණුව, ආයෙ එන්නෙ නෑ, එන්න තරම් ‘අපේ ප්‍රශ්ණෙට’ වාතාවරණය හොද නෑ.” මට තේරුම් ගියා, ‘ඔවුන්ගෙ ප්‍රශ්ණෙ’ මොකක්ද කියල. සිංහල මවකට සහ දමිළ පියකුට දාව 1965 කොළඹදී උපන් ශ්‍යාම්, 1983 කළු ජූලියෙන් පසුව සිය පවුලේ අය සමඟ ලංකාව අතහැර කැනඩාවට සංක්‍රමණය විය. “අපේ පුතා පොඩි කාලෙ ඉදන්ම වෙනස් හැසිරීම් තිබුණු කෙනෙක්, අපි ඒක තේරුම් ගත්තෙ නැති නිසා, මුල් කාලෙ අපිට ඒක දරාගන්න බැරි වුනා.” මගේ බිරිද වෛද්‍යවරියක් නිසා අපිට පුතාගෙ තත්ත්වය අවබෝධ කරගන්න පුලුවන් වුනා. ඇය ඒක තේරුම් කරන්නෙ මෙහෙම; අපි අපේක්ෂා කරනව, ලෝකෙ උපදින්නෙ ගැහැණු හා පිරිමි විතරයි කියල. නමුත් ‘පිරිමි රේඛාව’ – සිරසටත්, ‘ගැහැණු රේඛාව’ – තිරසටත් අරගෙන, උත්පත්ති නියැදිය කොටුවක් කියල ගත්තොත්, උපදින ඕනම කෙනෙක්, ඒ රාමුව ඇතුලෙ, අනන්තවත්-අවස්ථාවන් සංඛ්‍යාවක, ගැහැණු-පිරිමි සංකලනයක, ඕනම කෙනෙක් වෙන්න පුලුවන්. ගැහැණු හෝ පිරිමි වගේම, ඒ අතරෙ ජාන පැටලිලා, පිරිමි වගේ ඉපදිලා ගැහැණු ගතිගුණ තියෙන පිරිමි-ගැහැණු වෙන්නත්, ගැහැණු වගේ ඉපදිලා පිරිමි ගතිගුණ තියෙන ගැහැණු-පිරිමි වෙන්නත් පුලුවන්. එහෙම වෙන එක උපදින කෙනාගෙ පාලනයෙන් තොරයි. “ඉතිං අපේ පුතාගෙ ‘අසාමාන්යවූ-සාමාන්‍ය විය හැකි බව’ අපි තේරුම් ගත්තා.” මෙවන් ඉපදීම් අතරින් සමහරු ‘Transgenders’ හැටියට තමන් උපන් ගැහැණු හෝ පිරිමි ආත්මය මාරු කරගන්නව. 1993 දි, උණසන්නිපාතය හැදිල ජපුර රෝහල්ගතවෙලා ඉන්නකොට මට ප්‍රතිකාර කරපු අරවින්ද නම් වෛද්‍යවරයා, 2000 වෙනකොට අරවින්දි නමින් විශේෂඣ වෛද්‍යවරයෙක් හැටියට බදුල්ල රෝහලේ කටයුතු කරන බවත්, සැත්කමකින් ගැහැණු බව ලබාගත් (Gender-Affirming Surgery) බවත්, පුවත්පතකට ප්‍රකාශ කරල තිබුන. ඔසිලියාවෙදි; Lunch with Ruby at Bondi Beach ගිහිපු වෙලාවෙ අහම්බෙන්, දෙනෝදාහක සමරිසි ප්රජාවකගෙ ‘Mardi Gras Concert’ එකක් දකින්න ලැබුන. සමරිසි දෙගොල්ලම තමතමන්ගෙ Partners ල එක්ක ඇවිත් Beach & Town පුරාම නිදහසේ සැරිසරනව නිදහසේ. ආගමික කණ්ඩායමක් විරෝධතාවය ප්‍රකාශ කරනව. ඔසිලියානු ජනතාවගෙන් වැඩි ප්‍රමාණයක් ඔවුන්ට නීත්‍යානුකූලභාවය දෙන්න එකගයි. ඒත් ආගම …… අතුරු කථාව: ශ්‍යාම් සෙල්වදොරෙයි විසින් රචිත ‘Funny Boy’ කෘතියේ සිංහල පරිවර්තක සුගතපාල ද සිල්වා ‘අමුතු ඉලංදාරියා’ පොතෙන් Stage Drama එකකුත් කරා. ස්වකීය ජීවිතය හා දේශපාලනය; සංකලනය කරමින් නිරවුල්ව හා සුමටව ලියා ඇති, ඒ තුළින් මනුෂ්‍ය සන්තානය පිළිබඳ ඛේදනීය අවබෝධය පෙන්නුම් කරයි. කොළඹ ජීවත් වන්නා වූ කාසිකාර දෙමළ පවුල් අතර වසන ලොකු දෙමළ පවුලක ලෝකය තුළ ඔහු, ආගන්තුකයකු බවට පත් වෙයි. ස්වකීය වැඩිමල් සොහොයුරා සමඟ ක්‍රිකට් ගැසීමට වඩා ගැහැනියකසේ ක්‍රීඩා කිරීමට හේ කැමැතිය. ස්වකීය සමකාමී චර්යාවන් හා තමා ජීවත් වන්නා වූ සමාජයේ ජාතිවාදය සමඟ අරගල කරන ඔහුගේ ඇසින් ඔවුන්ගේ පවුල් ජීවිත දෙස බලමු. ————————— අතුරු කථාව ඇතුලෙ ‘අමුතු ඉලංදාරියා’ උපුටා ගැනීමක්: (පංචතන්ත්‍රය වගේ) 😎 මම හිස අත්වල රඳවා ගෙන “අනේ අම්මේ අනේ” කියමින් අඬන්නට වීමි. ඈ දිගටම ජනේලය දෙස බලා සිටියාය. මම විලාපදී ගෙන ඇඳට කඩා වැටුණෙමි. මා අඬා වැලපෙන සෑම විටෙකම මෙන් මෙහිදීද මව පැමිණ මා වඩා ගෙන මගේ හිස ළැමට තබා ගෙන ඇගේ අර තොඳොල් කටහඬින් “මොකද වෙලා තියෙන්නෙ? කවුද මේ අඬන පුංචි ඉලන්දාරිය?” අසනු ලබන අපේක්ෂාවෙන්, පසුවීමි. එහෙත්, ඈ මගේ ඇඬිල්ල නොතැකුවාය. කෙළවර මම ඇඬිල්ල නතර කොට උඩුබැලි අතට පෙරළුණෙමි. මා නිහඬ නිසා මා වෙත යොමුවූ අම්මා “පිරිමි ළමයිත් එක්ක ඉඳල බලන්නකො, ඔයාට හොඳට විනෝද වෙන්න පුළුවන්” සතුටු සිතින් තෙපලාය. “ඇයි මට ගෑනු ළමයිත් එක්ක සෙල්ලම් කරන්න බැරි?” “ඔයාට බෑ. එච්චරයි.” “ඒත් ඇයි?” ඈ නොසංසුන් ලෙස, “ඔයා දැන් ලොකු පිරිමි ළමයෙක්. ලොකු පිරිමි ළමයි වුණාම සෙල්ලම් කරන්න ඕන පිරිමි ළමයි එක්ක.” “ඒක හරි මොට්ට වැඩක්නේ?” “ඒකට කමක් නෑ. ජීවිතේ පිරිල තියෙන්නෙ මොට්ටකංවලින්. සමහර වෙලාවට, අපිට ඔහේ, ඒව කරන්න වෙනවා.” “බෑ” මම විරෝධය පෑවෙමි. “මම පිරිමි ළමයින් එක්ක සෙල්ලම් කරන්නෙ නෑ.” නැවතත් අපේ කථාවට; “ඊට පස්සෙ මොකද වුනේ” මට ඉවසිල්ලක් නෑ, දුර්ලභ කතාවක අවසානය අහගන්නකම්. “අපිට දුවයි-පුතයි හිටියෙ, දුව සාමාන්‍ය විවාහයකුත්, පුතා සමරිසි Husband හැටියට University Professor කෙනෙක් එක්ක විවාහයකුත් කරගෙන, අපේ ජීවිත ජයගත්තා. පවුල ඇතුලෙ සම්මත-අසම්මත විවාහ එක්ක සතුටු වෙන යථාර්තවාදී මිනිස්සු. ඒත් සෙල්වදුරෙයි ලංකාවෙ ගත කළ කාලයකදී ඔහුගේ සහකරු සමග 1997 දී අත්විඳින ලද ගැරහුම්, අපහසුතාවයන් පිළිබඳ ටයිම් ඒෂියා හි 2003 වසරේ ආසියානු ඩයස්පෝරාව පිළිබඳ විශේෂ කලාපයෙහි ‘Coming Out’ ලෙස විස්තර කරල තියෙනව. ඔහු 1989 දී නෘත්යවේදය සඳහා යෝර්ක් විශ්ව විද්‍යාලයේ Bachelor of Fine Arts උපාධියත් 2010 දී බ්‍රිතාන්‍ය කොලොම්බියා විශ්ව විද්‍යාලයේ නිර්මාණාත්මක ලේඛන පිළිබඳ MFA උපාධියක් ලබා ගත් අයෙක්. සෙල්වදුරෙයි ශ්‍රී ලංකාවේ ගත කළ කාලයකදී ඔහුගේ සහකරු සමග, 1997 දී අත්විඳින ලද අපහසුතාවයන් පිළිබඳ ටයිම් ඒෂියා හි 2003 වසරේ ආසියානු ඩයස්පෝරාව පිළිබඳ විශේෂ කලාපයෙහි ‘Coming Out’ ලෙස විස්තර කරල තිබුන. Funny Boy, Cinnamon Gardens, The Hungry Ghosts, Mansions of Monsoon ඔහුගේ කෘති අතර සමලිංගික ප්‍රබන්ධ සඳහා පළමු කැනඩා ලැම්ඩා සාහිත්‍ය සම්මානය Funny Boy දිනා ගත්ත. 2016 දී, ‘බ්රිග්නෝලියා ශ්‍යාමි’ ලෙස සෙල්වදුරෙයිගේ නමින් මකුළු විශේෂයක් කැනඩාවේදී නම් කරල තියෙනව. “පෙම්වතුන්ට සුබ පතනවා, කසාද බැන්දමත් සුබ පතනවා, දරුවෙක් ලැබුනමත් සුබ පතනවා. ඒත්.. කවුරුහරි කෙනෙක් කසාද බඳින්නේ නැතුව තනියම ඉන්න තීරණය කළා කිව්වම, දෙන්නෙක් කසාද බැඳලා ළමයෙක් හදන්නේ නැතුව ඉන්න තීරණය කළා කිව්වම, සුබපතනවද? සමලිංගික පෙම්වතෙකු/පෙම්වතියක බදින්න තීරණය කලා කිව්වම, සුබපතනවද?” “එහෙම දියුණු මිනිස්සු මුණගැහෙන්න, කතාකරන්න, වැළඳගන්න. දියුණු මිනිස්සු එක්ක ජීවත් වෙන්න මං කැමතියි.” මම කියන්නෙ.. “තවදුරටත්, එවන් මනුෂ්‍යයන් හෙළාදකින එක, අපි ආකල්පමය වශයෙන් බැහැර කළයුතු කාලය එළඹ ඇති බව තේරුම් ගත යුතුය.”මේක ලියන්න හිතුනෙ, ‘විශේෂිතවූ ගැහැණුන්’ ගැනත් ‘අසම්මත සබදතා වලට ගරු කිරීම’ ගැනත්, Post දෙකක්, මගේ මතකය අවුස්සපු නිසා.
Previous Articleඅධ්‍යාපනයේ ගමන් මග හා ස්ටාලින්
Next Article වාර්ෂික බස් ගාස්තු සංශෝධනය 2024 ජුලි