උද්ධමනය සියයට 10යි….

බදු බර, උද්ධමනය සහ ජාතික ආරක්ෂාව මුල් කරගනිමින් සර්වජන බලයෙන් රජයට දැඩි චෝදනා

වත්මන් රජයේ අයවැය ප්‍රතිපත්ති, අධික බදු බර සහ ජාතික ආරක්ෂාවට අදාළ සිදුවීම් කිහිපයක් පදනම් කරගනිමින් සර්වජන බලය පක්ෂයේ නියෝජිත ප්‍රියංකර මහගම්මුලගේ මහතා විසින් රජය වෙත දැඩි චෝදනා එල්ල කර තිබේ.  

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය හේතුවෙන් ඇති වූ ජීවන පීඩනය සහ ඍජු හා වක්‍ර බදු බර නිසා රට පුරා ශ්‍රමිකයින් විරෝධතා ආරම්භ කර ඇති බව ඔහු පවසයි.

ඉදිරියේදී උද්ධමනය 9% සිට 10% දක්වා ඉහළ යා හැකි බවට අනතුරු අඟවන මහගම්මුලගේ මහතා, රජය පොරොන්දු වූ පරිදි ඍජු විදේශ ආයෝජන (FDI) මෙරටට ගෙන ඒමට අපොහොසත් වී ඇති බවට චෝදනා කරයි.  

වත්මන් විරෝධතා “අසාධාරණ වැඩ වර්ජන” ලෙස හඳුන්වමින් රජය සහ එහි සමාජ මාධ්‍ය ජාලා ප්‍රචාරක කටයුතු ගෙන යන බව පෙන්වා දෙන ඔහු, 2008 ජූලි 10 (විඩතලතිව් මුදා ගැනීමේ මෙහෙයුම පැවති සහ ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 147 දක්වා ඉහළ ගිය අවස්ථාවේ) සහ 2022 මාර්තු 8-23 (කොවිඩ් වසංගතයෙන් පසු ආර්ථික අර්බුදය පැවති සහ බොරතෙල් මිල ඩොලර් 137 දක්වා ඉහළ ගිය අවස්ථාවේ) යන දිනවලදී ජනතා විමුක්ති පෙරමුණ විසින් දීප ව්‍යාප්ත වැඩ වර්ජන සිදු කළ බව සිහිපත් කරයි.

එමෙන්ම 2023 වසරේදී හඳුන්වා දුන් ‘පේ ටැක්ස්’ (PAYE) බද්දට එරෙහිව වත්මන් රජයේ නියෝජිතයින් වන වෛද්‍ය නිශාන්ත, වෛද්‍ය නජිත් ඉන්දික සහ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන යන අයද එදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එක් වූ බව ඔහු සඳහන් කරයි.  

ජාතික ආරක්ෂාව සහ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රශ්න කිරීම්ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ලෝක් සභා මන්ත්‍රී තිරුමාවලවන් මහතා පසුගියදා මෙරටට පැමිණ වැල්වැටිතුරේ පිහිටි වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ නිවසට ගොස් පස් ලබා ගැනීම සහ නල්ලූර්හි පැවති රැස්වීමකදී එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ එහි නායකයා වර්ණනා කිරීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ප්‍රශ්න කර තිබේ.

සංචාරක වීසා මත පැමිණි විදේශීය දේශපාලනඥයෙකුට තහනම් සංවිධානයක් ප්‍රවර්ධනය කිරීමට ඉඩ ලබා දීම සහ ප්‍රභාකරන්ගේ නිවස ඉදිරිපිට “HE” (His Excellency) යනුවෙන් සඳහන් පුවරුවක් ප්‍රදර්ශනය වීම පිළිබඳව ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ ක්‍රියාත්මක නොවීම ගැන ඔහු විමතිය පළ කරයි.

මීට අමතරව, මොහොමඩ් ෆසිල් නැමැත්තෙකු බුද්ධ දහමට හිමි ප්‍රමුඛස්ථානය ඉවත් කළ යුතු බවට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳවද ඔහු චෝදනා නගයි.  

නීතිය සැමට සමාන බව රජය පැවසුවද, විපක්ෂය මර්දනය කිරීමට පමණක් නීතිය භාවිතා කරන බවට චෝදනා කරන මහගම්මුලගේ මහතා, ඊට උදාහරණ ලෙස කරුණු කිහිපයක් ඉදිරිපත් කරයි.

අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහයකට පහර දීමේ සිද්ධියට අදාළ විමර්ශන.   භික්ෂුවකගේ සිවුරක් ගැලවීමේ සිද්ධියට අදාළ සැකකරුට පොලීසිය තුළ විශේෂ සැලකිලි ලැබීම.   අකුරණ රෝහල මැදින් ඉදිකර ඇති බව කියන අනීතික මාර්ගය සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර් 8 වන දින සිදු කළ පැමිණිල්ලට අලවතුගොඩ පොලීසිය ක්‍රියාත්මක නොවීම.   ඥානසාර හිමියන්ට සමාව නොදී අනෝජන් නැමැත්තෙකුට සමාව ලබා දීම.   විදේශ ගමන් බලපත්‍ර 17ක් නිකුත් කිරීමේ සිද්ධියට අදාළව වටගල මහතා විසින් සිදු කළ විමර්ශන ප්‍රතිඵල හෙළි නොකිරීම.  

මෙම කරුණු මුල් කරගනිමින් රජයේ ක්‍රියාකලාපයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදීව විරෝධය පළ කරන බව සර්වජන බලය පක්ෂය වැඩිදුරටත් සඳහන් කරයි.

Share.
Leave A Reply