1965 ආරම්භයේ සිට 2024 බලය අත්පත් කර ගැනීම දක්වා දශක හයක අභියෝගාත්මක දේශපාලන ගමනේ සන්ධිස්ථාන ජනපති සිහිපත් කරයි!

පක්ෂය තහනම් කිරීම්, දැවැන්ත මර්දන සහ සහෝදරවරුන්ගේ කැපකිරීම් මැදත් රැකගත් “සාධාරණ සමාජයක් බිහි කිරීමේ” එකම අරමුණ

37 වැනි ඉල්මහ විරු සමරුව අද (13) කොළඹ විහාරමහාදේවි රංගපීඨයේදී

අපේ රටත්, රටේ ජනතාවටත් ඉතා හොඳ සහ සාධාරණ සමාජයක් නිර්මාණය කර දීමේ අපේ අරමුණ එලෙසම තිබෙනවා. 1965 දී පක්ෂය බිහි කළ දා සිට, මර්දන හමුවේ තම සහෝදරයන් ජීවිතයෙන් වන්දි ගෙවද්දී, පක්ෂය තහනම් කළ අවස්ථාවලදී මෙන්ම 2024 බලය ලබා ගැනීමෙන් පසුවත් මේ එකම අරමුණ වෙනුවෙන් අපි නොපසුබස්නා උත්සාහයකින් කටයුතු කරමින් සිටිනවා යැයි  ජනාධිපති ජනපති අනුර කුමාර දිසානායක සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) 37 වැනි ඉල්මහ විරු සමරුව නිමිත්තෙන් පක්ෂයේ සමස්ත දේශපාලන ඉතිහාසය සහ එහි දැවැන්ත හැරවුම් ලක්ෂ්‍යයන් සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අතිශය වැදගත් සහ සංවේදී ප්‍රකාශයක් සිදු කරනු ලැබීය.

පක්ෂයේ 60 වසරක ඉතිහාසය තුළ ලෝකයේ වෙනත් කිසිදු දේශපාලන ව්‍යාපාරයක් මුහුණ නොදුන් තරම් විවිධ වූ අභියෝග, මර්දන සහ හැරවුම් ලක්ෂ්‍යයන් රැසක් පසු කිරීමට සිදුවූ බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. 1965 වසරේදී පක්ෂය ආරම්භ වීම, 1970 දශකයේ මුල් භාගයේ මුහුණ දුන් දැවැන්ත මර්දනය සහ පක්ෂය ගොඩනැගූ බොහෝ දෙනෙක් ඝාතනය වීම හෝ සිරගත වීම, 1978 ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවිෂ්ටය, 1983 පක්ෂය තහනම් කිරීම, 1994 නැවත ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පිවිසීම සහ අවසානයේ 2024 වසරේදී රටේ බලය අත්පත් කර ගැනීම දක්වා වූ දුෂ්කර මාවත ඔහු සිහිපත් කළේය.

විශේෂයෙන්ම, 1970-80 දශකවලදී පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර, කෝන සහ ගමනායක ඇතුළු ශ්‍රේෂ්ඨ වීරවරුන් සහ වීරවරියන් විශාල පිරිසක් අහිමි වීම වැනි අතිශය දුෂ්කර ඛේදවාචක මැද වුවද, සමස්ත ඉතිහාසය පුරාම එකිනෙකට ගැටගැසී පවතින ප්‍රධාන අන්තර් සම්බන්ධීකරණ සබඳතාවක් ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

2024 ට පෙර බලය ලබා ගැනීම සඳහා අරගල කළ තම ව්‍යාපාරය, වර්තමානයේ බලය ලබා ගැනීමෙන් පසු එම අරමුණ යථාර්ථයක් කර ගැනීම වෙනුවෙන් සිය අප්‍රතිහත ධෛර්යය පෙරදැරිව ඉදිරියට යමින් සිටින බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුළු පිරිසක් නොවැම්බර් මාසයේදී ඝාතනයට ලක්වීම මුල් කර ගනිමින් වාර්ෂිකව පවත්වනු ලබන 37 වැනි ඉල්මහ විරු සමරුව අද (නොවැම්බර් 13) පස්වරු 3.30ට කොළඹ විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේදී පක්ෂයේ නායකයන් සහ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය.

Share.
Leave A Reply