2027 අයවැය දුප්පතුන්ගේ සහනාධාර කප්පාදු කරයි! ස.ජ.බ. හෙළි කරයි!
2027 අයවැය: ප්‍රායෝගික නොවන ඉලක්ක සහ දුප්පතුන්ගේ සහනාධාර කප්පාදුව දැඩි විවේචනයට!
2027 අයවැය ඉලක්ක ප්‍රායෝගික නැහැ!
දුප්පතුන්ගේ සහනාධාර කප්පාදු කර ඇති බවට ස.ජ.බ.යෙන් චෝදනා!
රටේ ආර්ථික වර්ධනය සියයට 4.7 ක වර්ධන වේගය සියයට 4.2 දක්වා පහතට ඇඳ දමා 2027 අයවැය දුප්පතුන්ගේ සහනාධාර කප්පාදු කර ඇති බව මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පවසයි.
ජනාධිපතිවරයා සිය අයවැය කතාව ආරම්භයේදීම සාවද්‍ය දත්ත ඉදිරිපත් කරමින් රට නොමඟ යවා ඇති බව ද කීය.
වත්මන් රජය රට භාරගන්නා විට ආර්ථික අවපාතයක් පැවති බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය මහාචාර්යවරයා දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේය.
2024 අවසන් කාර්තුවේදී රජය බලයට පත්වන විට පැවති සියයට 4.7 ක ආර්ථික වර්ධන වේගය, 2026 දෙවන කාර්තුව වන විට සියයට 4.2 දක්වා පහත වැටී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම, 2024 දෙවන කාර්තුවේදී සියයට 0.5 ක අවම මට්ටමක පැවති උද්ධමනය මේ වන විට සියයට 8.3 සීමාව ඉක්මවා ගොස් ඇති බවත්, 2027 වර්ෂයේදී තවදුරටත් ඉහළ උද්ධමනයක් අපේක්ෂා කරන බවත් හෙතෙම සඳහන් කළේය.
අයවැය මගින් සියයට 7 ක ආර්ථික වර්ධන වේගයක් ඉලක්ක කර තිබුණද, ඒ සඳහා අවශ්‍ය වන සියයට 30 – සියයට 40 අතර ආයෝජන අනුපාතිකයක් ළඟා කර ගැනීමට හෝ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට කිසිදු සැලැස්මක් නොමැති බව ඔහු පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඇස්තමේන්තු අනුව 2027 දී ආර්ථිකය වර්ධනය වන්නේ සියයට 3.7 කින් සහ 2028 දී සියයට 3.1 කින් පමණක් බව ඔහු පෙන්වා දුන්නේය.
ලෝක බැංකු සහ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්ත අනුව රටේ ආදායම් බෙදී යාමේ විෂමතාව උග්‍ර වී ඇති බව ද ඔහු කීය.
2019 දී දුප්පත්ම සියයට 20 ක ජනතාවට හිමිවූ ජාතික ආදායම් පංගුව සියයට 4.6 ක් වුවද, 2025 වන විට එය සියයට 3.8 දක්වා පහත වැටී ඇති බවද හෙතෙම සඳහන් කළේ ය.
ධනවත්ම සියයට 20 ක පිරිස මේ වන විට රටේ මුළු ආදායමෙන් සියයට 56 ක පංගුවක් අත්පත් කරගෙන බව ද ඔහු කීය.
2025 වන විට රටේ දරිද්‍රතා අනුපාතය සියයට 61.1 ක් දක්වා ඉහළ ගොස් තිබියදී, 2026 අයවැයෙන් අස්වැසුම සහ සහනාධාර සඳහා වෙන් කළ රුපියල් බිලියන 1,572 ක මුදල, 2027 අයවැයෙන් රුපියල් බිලියන 1,472 දක්වා ( සියයට 6.4 කින්) කප්පාදු කර ඇති ආකාරයද හෙතෙම කරුණු සහිතව පෙන්වා දුන්නේ ය.
අවුරුදු 15 – 24 අතර වයස් කාණ්ඩයේ විරැකියාව සියයට 43 ක ඉහළ අගයක පැවතියද, රැකියා උත්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් අයවැයේ නොමැති බව ඔහු චෝදනා කළේය.
රුපියල් බිලියන 1,753 ක් වන අයවැය හිඟයෙන් සියයට 94 ක් (බිලියන 1,643 ක්) දේශීය මූලාශ්‍රවලින් පියවා ගැනීමට රජය උත්සාහ කිරීම හේතුවෙන් පොලී අනුපාත ඉහළ ගොස් පෞද්ගලික ආයෝජන අඩපණ විය හැකි බවට ද ඔහු අනතුරු ඇඟවීය.
පොරොන්දු වූ පරිදි රුපියල් ලක්ෂ 24 ක වාර්ෂික බදු නිදහස් සීමාව ලබා නොදීම නිසා වෘත්තිකයන්ගේ බුද්ධි ගලනය තවදුරටත් ඉහළ යනු ඇති බවත්, මෙය හුදෙක් ජනතාව මුලා කරන වචන ගොඩක් පමණක් බවත් මහාචාර්ය ප්‍රසන්න පෙරේරා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

