මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් වසර පහකදී සියයට 169 කින් ඉහළට!

2025 දී 262,321ක් අත්අඩංගුවට!

2026 ඔක්තෝබර් 20 වන විටත් 237,546ක්!

අත්අඩංගුවට ගැනීම් අතින් කොළඹ, ගාල්ල, ගම්පහ  දිස්ත්‍රික්කය අති අවදානම් කලාපයකි.

කොළඹ අනුපාතය ජාතික සාමාන්‍යය මෙන් සිව් ගුණයකටත් වැඩියි!

රටේ මත්ද්‍රව්‍ය සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් 2020 සිට 2025 දක්වා කාලය තුළ සියයට 169.28 කින් ඉහළ ගොස් තිබේ. 2020 දී 97,416 ක් වූ අත්අඩංගුවට ගැනීම් සංඛ්‍යාව 2024 දී 228,450ක් දක්වාත්, 2025 දී 262,321ක් දක්වාත් වැඩි වී ඇත.

2025 වසරේදී වාර්තා වූ එම සංඛ්‍යාව මේ දක්වා අත්අඩංගුවට ගැනීම් ඉහළම මට්ටමට ගෙන ගිය අතර, 2026 වසර අවසන් වීමටත් පෙර, ඔක්තෝබර් 20 වන විට අත්අඩංගුවට ගත් පිරිස 237,546කි. ඒ අනුව වසරේ ඉතිරි කාලය තිබියදීත් අත්අඩංගුවට ගැනීම් සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතී.

ජනගහනයෙන් ලක්ෂයකට අත්අඩංගුවට ගත් පිරිස සලකා බැලූ විටද ඉහළ යාමක් පෙනේ. 2024 දී ලක්ෂයකට 1,000ක් ලෙස සඳහන් වූ එම අනුපාතය 2025 දී 1,205ක් දක්වා ඉහළ ගොස් ඇත. 2024 අගය මුළු ජනගහනයෙන් සියයට 1 කට සමාන බව දත්ත සටහනේ දැක්වේ.

අත්අඩංගුවට ගැනීම් අතින් කොළඹ දිස්ත්‍රික්කය අතිඅවදානම් කලාපයකි. එහි ජනගහන අනුපාතයට අනුව ලක්ෂයකට 4,940ක් ( සියයට 4.94) එනම් ජාතික සාමාන්‍යය මෙන් සිව්ගුණයකටත් වඩා අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

දෙවන ස්ථානය ගාල්ලට හිමිවී ඇති අතර, එහි අගය ලක්ෂයකට 1,280කි (සියයට 1.28). තෙවන ස්ථානයේ පසුවන ගම්පහ දිස්ත්‍රික්කයේ අත්අඩංගුවට ගැනීම් සංඛ්‍යාව ලක්ෂයකට 1,080ක් ( සියයට1.08) ලෙස වාර්තා වේ.

මේ අනුව රට පුරා සමස්ත අත්අඩංගුවට ගැනීම් ලක්ෂ 2.6ක් ඉක්මවා ගොස් තිබේ.

Share.
Leave A Reply