ජාත්‍යන්තර පොහොර දිනයට සමගාමීව පැවැත්වෙන ජාතික සැමරුම් වැඩසටහන සහ අලෙවි ප්‍රදර්ශනය 2026.10.13 හා 14 දිනයන්හිදී දෙහිඕවිට ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගන පරිශ්‍රයේදී පැවැත්වුණු අතර එහි දෙවන දිනය වූ ඊයේ(14) දින ප්‍රධාන ආරාධිතයා ලෙස කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ඊට සහභාගී විය.

ප්‍රමුඛ පෙළේ පොහොර සමාගම්වල හා පොහොර සම්බන්ධ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවති වැඩසටහන සහ අලෙවි ප්‍රදර්ශනයට රජයේ නව කෘෂිකාර්මික සහනාධාර වැඩසටහන් පිළිබද දැනුවත් කිරීම්, ආර්ක්ෂිත ගෘ හ තුළ වගා ක්‍රම හඳුන්වා දීම්, ලාභදායී හා පරිසර හිතකාමී නව වැඩිදියුණු කළ පොහොර වර්ග හඳුන්වා දීම මෙන්ම ජංගම රසායනාගාර සේවා මගින් පස පරීක්ෂා කිරීමේ පහසුකම් සැපයීම ඇතුළත් විය.

නිර්දේශිත පොහොර භාවිතයෙන් පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයේ නිරත වූ සහ සෞඛ්‍ය සම්පන්න පරපුරක් වෙනුවෙන් පරිසර හිතකාමී තිරසාර කාබනික වගා ක්‍රම අනුගමනය කළ ගොවීන් ඇගයීම සඳහා ත්‍යාග ප්‍රදානයක් ද මෙහිදී සිදු කෙරිණි.

ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම වසරේ ජාතික සැමරුම් උත්සවය සඳහා ප්‍රදර්ශන කුටි විස්සකට ආසන්න සංඛ්‍යාවක් ඇතුළත් කර තිබුණි.

මෙම අවස්ථාවට එක් වෙමින් කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මෙසේ අදහස් පළ කළේය.
“යූරියා භාවිතයේදී කාබන් ඩයොක්සයිඩ් මෙන් 250 ගුණයකට වඩා වැඩි අහිතකර බලපෑමක් දේශගුණික විපර්යාස කෙරෙහි ඇති කරනවා. යූරියා භාවිතය සම්පූර්ණයෙන්ම නතර කළ නොහැකි. නමුත් පස පරීක්ෂා කරමින් එය නිසි ලෙස කළමනාකරණය කරගත යුතුව තිබෙනවා.කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා විද්‍යාත්මක පස පරීක්ෂාව සහ ඒ අනුව පොහොර නිර්දේශ කිරීම අප ආරම්භ කර තිබෙනවා .අවශ්‍ය ප්‍රමාණයට පමණක් පොහොර යෙදීමෙන් අස්වැන්න ඉහළ යන අතර, ජලය හා වාතය දූෂණය වීම වැළකී නිෂ්පාදන පිරිවැය ද අඩු කරගත හැකියි.ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ වගාබිමේ පස පරීක්ෂාකිරීම සදහා යොමුවන ලෙස”
“බතලගොඩ වී පර්යේෂණ ආයතනය වසර 15ක් (කන්න 30ක්) තිස්සේ සිදුකළ පර්යේෂණවලට අනුව, නමුත් වැඩිම අස්වැන්නක් ලැබෙන්නේ කාබනික සහ රසායනික පොහොර මිශ්‍ර කර යෙදීමෙන්. සාම්ප්‍රදායික ක්‍රමවලින් ඔබ්බට ගොස් විද්‍යාත්මක කෘෂිකර්මාන්තයට යොමු වීමෙන් නිෂ්පාදන පිරිවැය අඩු කර ගනිමින් වස විසෙන් තොර වැඩි අස්වැන්නක් ලබාගත හැකියි.”

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන වැලිපිටිය මහතා, දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්සිරි වීරසිංහ මහතා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුලු දේශපාලන අධිකාරියත්, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක චන්දන ලොකුහේවාගේ මහතා ඇතුලු නිළධාරීන්, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිලධාරීන්, ගොවි ජනතාව, සිසු දරුවන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share.
Leave A Reply