වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,

‘‘වර්තමාන ආණ්ඩුව බුද්ධ චීවරයට සිදු කළ අපහාසයට එරෙහිව ගරුතර මහා සංඝරත්නය නුවර සිට කොළඹට වැඩම කරවනවා. කෙසේ නමුත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිවිල් ඇඳුමෙන් අධිකරණය හමුවට ගෙන ඒමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සංඝරත්නය, බෞද්ධ ජනතාව මෙන්ම අන්‍යාගමික නායකයන් සහ රටේ බහුතරයක් ජනතාව තුළ දැඩි විරෝධයක් ඇති වී තිබෙනවා.

ඒ වගේම බන්ධනාගාර ඉතිහාසයේ වසර 70 කට අධික කාලයක් පැවැති පටිපාටිය වෙනස් කරමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිවිල් ඇඳුමෙන් අධිකරණය හමුවට ගෙන ඒමට කටයුතු කිරීමට සිදුවූයේ බන්ධනාගාර නිලධාරීන්ට ඇමතිවරයාගෙන්, ජනාධිපති ලේකම් කාර්යාලයෙන්, අගමැති ලේකම් කාර්යාලයෙන් හෝ පැලවත්ත පාර්ශ්වයෙන් ලැබුණු දේශපාලන නියෝග නිසයි. කෙසේ නමුත් ඕනෑම ආගමික පූජකවරයෙකුට තමන්ගේ ආගමික ඇඳුමෙන් සැරසී පෙනී සිටීමට අතීතයේ සිටම අවස්ථාව තිබෙනවා.

ඒ වගේම ආණ්ඩුවේ මෙම වැරදි තින්දුවට විරුද්ධව සමාජය තුළ විරෝධයක් මතුවෙද්දී දේශපාලන අතපෙවීම් හරහා සිදුවූ මෙම වරද වසා ගැනීමට ආණ්ඩුව කමිටුවක් පත්කර එමගින් තීරණ ගැනීමේ බලය නැවතත් ඇමතිවරයාට පවරා තිබෙනවා. අතීතයේ ක්‍රියාත්මක වුණ ආකාරයට මෙම ක්‍රමය ක්‍රියාත්මක වුණානම් කිසිදු ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ. ඒ වගේම බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර ඇත්තේ දැඩි දේශපාලන පීඩනයක් යටතේ බව පැහැදිලිය. එම නිලධාරීන්ට චෝදනා කිරීම පලක් නැහැ.

ඒ වගේම භික්ෂු විනය නීතිවලට අනුව පාරාජිකාවට පත් වූ භික්ෂුවකට සිවුරු දැරීමට අවසර නොමැති බව සංඝ සභාවද පිළිගන්නා අතර, බන්ධනාගාරගතව සිටින අනෙකුත් බරපතල අපරාධකරුවන්ට නැවත සිවුරු ඇන්දවීමට සංඝ සභාව හෝ සමාජය අනුමත කරන්නේ නැහැ. ඥානසාර හිමියන් පාරාජිකාවට පත් වූ භික්ෂුවක් නොවන බැවින් උන්වහන්සේට සිවුර පැළඳීමට සංඝ සභාවේ බාධාවක් නැතත්, ආණ්ඩුව මෙමගින් තවත් අනවශ්‍ය ප්‍රශ්නයක් නිර්මාණය කරනවා.

ඒ වගේම ආණ්ඩුව රටේ පොදු න්‍යාය පත්‍රයකට අනුව නොව පැලවත්තේ පක්ෂ න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරන බවක් පෙනෙන්න තිබෙනවා. ලන්දේසි, ඉංග්‍රීසි සහ පෘතුගීසි සමයේ වාරියපොළ සුමංගල හිමි සහ කුඩාපොළ හිමි වැනි යතිවරයන් වහන්සේලා රට හා ජාතිය වෙනුවෙන් ජීවිත පූජා කළාක් මෙන් මහා සංඝරත්නය ආණ්ඩුවට එරෙහිව පෙළගැසීමට සැලැස්වීම බරපතල තත්ත්වයක්. කෙසේ නමුත් මීට වඩා ආණ්ඩුව මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් අවදානය යොමු කළ යුතුයි. ඒ වගේම පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිවිල් ඇඳුමෙන් අධිකරණය හමුවට ගෙන ඒමට කටයුතු කිරීම හරහා රට පාලනය කරන්නේ පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ කාර්යාලයෙන් බව සනාථ වෙනවා. කෙසේ නමුත් රටේ ජාති භේද , ආගම් භේද ඇති නොවන ආකාරයට ආණ්ඩුවට කටයුතු කරන්නැයි ඉල්ලා සිටිනවා.

සමගි ජන බලවේගය මහා ජාතියට හෝ සුළු ජාතීන්ට විශේෂ සැලකිලි නොදක්වා සමස්ත ජාතීන්ටම සමව සලකන ප්‍රතිපත්තියක සිටින පක්ෂයක්. ඒ වගේම යම් අන්තවාදී කණ්ඩායම් භික්ෂූන් වහන්සේලාට සිදුකරන මෙවැනි අපහසුතාවලින් සතුටු වෙනවා. නමුත් අති බහුතරයක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සතුටු වෙන්නේ නැහැ. කෙසේ නමුත් පක්ෂයේ පැහැදිලි ස්ථාවරය සියලු ජාතීන්ට සාධාරණය ඉටුකිරීමයි. කෙසේ නමුත් ඥානසාර හිමියන්ට ලබා දුන් ජනාධිපති සමාවේ යම් අඩුපාඩුවක් පැවැතියේ නම් එය නිවැරදි කර නීත්‍යානුකූලව විසඳීම ආණ්ඩුවේ වගකීමක්.

එ් වගේම ආණ්ඩුව බලයට පැමිණියේ හොරුන් ඇල්ලීමට පමණක් නොවන බව මතක් කරදිය යුතුයි. රට සංවර්ධනය කිරීම, සෘජු ආයෝජන ගෙන ඒම, නිෂ්පාදන, අපනයන, කෘෂිකාර්මික හා සේවා ආර්ථිකය ශක්තිමත් කිරීම මෙන්ම ජනතාවගේ ජීවන වියදම අඩු කිරීම කෙරෙහිද ආණ්ඩුව එක හා සමානව අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම රට ආර්ථික වශයෙන් ඉදිරියට යන තත්ත්වයක් පෙනෙන්න නැහැ. ඒ වගේම ආණ්ඩුව හොරු අල්ලනවා වගේ උනන්දුවක් රටේ අනෙකුත් අත්‍යාවශ්‍ය කාරණාවලට යොදවන්නැයි රජයෙන් ඉල්ලා සිටිනවා.‘‘

Share.
Leave A Reply