කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2026 සැප්තැම්බර් 21 දින උදෑසන නිකුත් කරන ලද නවතම කාලගුණ වාර්තාවට අනුව, දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති අතර එය ඉදිරි දිනවලදී තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙහි සෘජු බලපෑමක් නොමැත වුවද, පද්ධතිය වෙත ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැක.
වැසි තත්ත්වය සහ ප්‍රදේශ:බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැක. ඌව පළාතේ සහ මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවල පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මුහුදු ප්‍රදේශ සඳහා විශේෂ අවවාදයයි:මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැක. පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් (2.0 – 2.5) පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළංවලින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න
තද වැසි පිළිබඳ විශේෂ අනතුරු ඇඟවීමක් –
ගාල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකට සූදානම් වන ලෙස දැනුම්දෙයිදිවයිනේ පවතින කාලගුණ තත්ත්වයෙහි වෙනස්වීමක් සමඟ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය 24 සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් මේ සම්බන්ධයෙන් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, ආරක්ෂක අංශ සහ අදාළ ආයතන වෙත දැනුම් දී ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, මෙම ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති වීමේ හැකියාවක් පවතී. මේ හේතුවෙන් විය හැකි ආපදා තත්ත්වයන් අවම කර ගැනීමට සහ පාලනය කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, බලපෑමට ලක්විය හැකි ජනතාව ඒ පිළිබඳව දැනුවත් කරන ලෙසත් අදාළ අංශ වෙත වැඩිදුරටත් උපදෙස් දී ඇත. හදිසි තත්ත්වයක් යටතේ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා 117 හදිසි ඇමතුම් අංකය අමතන ලෙස දන්වා සිටියි.

