නීතිය ක්‍රියාත්මක නොවීමට එරෙහිව විශාල අරගලයක සූදානමක්!
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල නීති හා රෙගුලාසිවලට පටහැනිව අසීමිත ලෙස රාජ්‍ය දේපළ, වාහන හා ඉන්ධන අවභාවිත කරමින් දැවැන්ත මුදල් වංචාවක නිරත වන බව සමෘද්ධි ව්‍යාපාරය සුරකීමේ සංවිධානය පවසයි.
ලෝක බැංකු හා ආසියානු සංවර්ධන බැංකු ණය අරමුදල් නීති විරෝධී ලෙස භාවිතා කරමින් සුපිරි හෝටල්වල රැස්වීම් පැවැත්වීම, නිල වාහනය (KP-9868) තිබියදී වෙනත් සංචිත වාහන භාවිත කරමින් නොපවතින ගමන් සඳහා ඉන්ධන අත්තිකාරම් ලබාගැනීම සහ අති නවීන කාර්යාල උපකරණ සඳහා මිලියන ගණනින් වියදම් කිරීම මේ අතර ප්‍රධාන වේ.
තවද, 1097ක් වූ සමෘද්ධි බැංකු පද්ධතියේ ආකෘති පත්‍ර සැපයීම හා ගිණුම් ක්‍රියාවලිය තම හිතවතුන්ට පවරා අනිසි ලාභ ලැබීමට කටයුතු කිරීමෙන් බැංකු පද්ධතියම කඩා වැටීමේ අවදානමකට ලක්ව ඇත.
පදනම් විරහිතව නිලධාරීන් 100කට වැඩි පිරිසක් සේවයෙන් පහකර අත්තනෝමතික ලෙස පාලනය ගෙන යන මොහුට එරෙහිව පරීක්ෂණයක් පවත්වා වහාම තනතුරින් ඉවත් නොකළහොත් දැවැන්ත වෘත්තීය අරගලයකට යොමුවන බව සමෘද්ධි ව්‍යාපාරය සදහන් කළේය.
මෙම දුෂන සම්බන්ධයෙන ක්‍රියාකිරිමට නියමිත කිසිදු රාජ්‍ය ආයතනයක් ක්‍රියා නොකරන බවද සමෘද්ධි ව්‍යාපාරය සුරකීමේ සංවිධානය පවසයි.
මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලිඛිතව පැමිණිළි කළ බව ද සංගමය පවසයි.

