යල කන්නයේ බිජුවටටත්, විදුලියටත් හිඟයක් නැතිව ජලය බෙදන්න ජනපතිගෙන් විශේෂ සැලසුමක්.
දේශගුණික වෙනස්කම්වලට මුහුණ දීමට ‘ජල තීන්දුවක්’ – ජනපති සහ නිලධාරීන් අතර තීරණාත්මක හමුවක්.
පවතින වර්ෂාපතනයත් සමඟ කෘෂිකාර්මික හා බලශක්ති ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇතිව තිබුණද ඉදිරියේ දී ඇතිවිය හැකි දේශගුණික වෙනස්කම් හමුවේ විද්‍යාත්මක ජල කළමනාකරණයක අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ ය.
ජනාධිපති කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, ඉදිරි මාසවලදී ඇතිවිය හැකි ‘එල්නිනෝ’ (El Niño) තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් ජල සම්පත ඉතා අරපිරිමැස්මෙන් හා සැලසුම් සහගතව පරිහරණය කළ යුතු බවයි.
දත්ත මත පදනම් වූ සැලසුම්: වත්මන් ජලාශවල ජල මට්ටම් සහ ඉදිරි කාලගුණ අනාවැකි සංඛ්‍යාත්මකව විශ්ලේෂණය කරමින් තීරණ ගැනීම.
යල කන්නයේ වගා කටයුතු: වගා කන්නය ආරම්භ වී ඇති බැවින් ගොවි ජනතාවට අවශ්‍ය ජලය බාධාවකින් තොරව ලබාදීම සහතික කිරීම.
බලශක්ති සුරක්ෂිතතාව: විදුලි උත්පාදනය සඳහා ජලය භාවිත කිරීමේදී පවතින සංචිත අරපිරිමැස්මෙන් කළමනාකරණය කරමින් අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වා ගැනීම.
පානීය ජල අවශ්‍යතාව: දේශගුණික විපර්යාස මැද වුවද ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවට ප්‍රමුඛතාව ලබාදීම.
ඉදිරි පුරෝකථනයන්ට අනුව වර්ෂාපතනය සීමා වුවහොත් ගත යුතු විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර, සියලු අංශ සම්බන්ධීකරණය වෙමින් පොදු ජල කළමනාකරණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කළේය.

